උෂ්ණත්වය හා පීඩනය යාමනය කිරීම
 අධික තාපදායක ප්‍රතික්‍රියාවක් සිදු වේ නම් කාර්යක්ෂම තාපය ඉවත් කිරීම් ක්‍රමවේදයක් නොමැති විටෙක දී හෝ එම යාන්ත්‍රණය නිසි ලෙස සිදු නොවේ නම් ප්‍රතික්‍රියා කුටීරයේ උෂ්ණත්වය ඉහළ ගොස් පිපිරීමක් සිදු විය හැකි ය. එසේ ම බාහිරින් තාපය සපයා රත් කරන අවස්ථාවක දී රත් කිරීම නිසි ලෙසට යාමනය නොවූ අවස්ථාවක උෂ්ණත්වය ඉහළ ගොස් අමුද්‍රව්‍ය නාස්ති වීම හා ප්‍රසාරණය නිසා පිපිරීම වැනි හානි සිදු විය හැකි ය. මේ නිසා ප්‍රතික්‍රියා කුටීරයේ උෂ්ණත්වය මැනීමට විවිධ ස්ථාන ආශ්‍රිතව සංවේදක (උෂ්ණත්වමාන) සවිකර තිබීම වැදගත් ය.

තාපය සැපයීමට අවශ්‍ය නම් තාපය ජනනය කරන ඒකක (Heating element) තිබිය යුතු ය. එසේ ම ප්‍රතික්‍රියා මිශ්‍රණය සිසිල් කරන අවස්ථාවක දී එහි වූ තාපය ඉවත් කිරීම හා තාපය අවශ්‍ය වෙනත් ස්ථානයකට එම ඉවත් කළ තාපය රැගෙන යාම මඟින් තාප ශක්තිය සඳහා පිරිවැය අඩු කරගත හැකි ය. මේ සඳහා යොදා ඇති ඒකකය තාප හුවමාරු ඒකකය (Heat exchange unit) ලෙස හඳුන්වයි. ප්‍රතික්‍රියාවෙන් වායුමය ඵල සාදයි නම් පීඩනය මැන දැක්වීමට පීඩන මානයක් තිබීම ඉතා වැදගත් ය.
(c) Shilpa Sayura Foundation 2006-2017