තෙවැනි කොටස
 වසර 1870 සිට 1914 දක්වා කාල පරාසය දෙවන කාර්මික විප්ලවය (Second industrial revolution) ලෙස හඳුන්වයි. මෙම විප්ලවය සඳහා විද්‍යුත් බලය, පෙට්‍රෝලියම් හා වානේ නිෂ්පානදන හේතු විය. අපද්‍රව්‍ය ලෙසට කාබන් ප්‍රතිශතය ඉහළ අමු යකඩ (Pig Iron) ද්‍රව කිරීමෙන් පසුව වාතය මඟින් අපද්‍රව්‍ය ලෙසට වූ කෝක් දහනය කර ඉවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කාබන් ප්‍රතිශතය අඩු යකඩ (වානේ) නිපදවිය හැකි ක්‍රමය සර් හෙන්රි බෙස්සමර් ඉදිරිපත් කළේ ය.

කාර්මීකරණය ලෝක පරිමාණයෙන් ව්‍යාප්ත වීමත් සමඟ මානව ශිෂ්ටාචාරය එතෙක් නොවූ අන්දමේ පරිවර්තන රාශියකට ලක් විය. අවශ්‍යතා පුළුල් වීමෙන් සමාජ සම්බන්ධතා සංකීර්ණ විය. මේ සමේ ම කාර්යක්ෂමතාව වැඩි කිරීම, ඵලදායිතාව වැඩි කිරීම, අනතුරු වීමේ අවදානම අඩු කිරීම හා පරිසරයට අහිතකර බලපෑම අවම වන අයුරින් නිෂ්පාදන ක්‍රියාවලි සිදු කිරීම පිළිබඳ ව දැඩි අවධානයක් යොමු කිරීමට සිදුවිය.

යුරෝපය පුරාම නිෂ්පාදනය පදනම් කරගත් ආර්ථික ක්‍රියාවලි වේගයෙන් වර්ධනය විය. නව දැනුම හා තාක්ෂණ නිර්මාණ නිසා නිෂ්පාදන වේගවත් විය. භාණ්ඩවල පිරිවැය (cost of product) වෙනස් වීම යුරෝපයේ හා උතුරු ඇමරිකාව ආශ්‍රිතව 1880-1930 වකවානුව පුරා නව පාරිභෝගික සංස්කෘතියක් ප්‍රවර්ධනය වූවා යැයි සැලකේ.
(c) Shilpa Sayura Foundation 2006-2017