ප්‍රධාන රසායනික කර්මාන්ත
 ලෝකයේ ප්‍රධානතම රසායනික කර්මාන්ත අතර ඇමෝනියා, කෝස්ටික් සෝඩා, සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය, පොස්ෆරික් අම්ලය හා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආදී රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය හා පෙට්‍රෝලියම් ආශ්‍රිත කර්මාන්ත මුල් තැනක් ගනියි.

ලෝකයේ මහා පරිමාණයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ප්‍රමාණ අනුව ඇමෝනියා නිෂ්පාදනය දෙවැනි වන්නේ සල්ෆියුරික් අම්ල නිෂ්පාදනයට පමණී. ඇමෝනියා සෘජුව ම පොහොර නිෂ්පාදනයට යොදාගැනීම එහි ප්‍රධානතම භාවිතයකි. ඇමෝනියම් සල්ෆේට් (NH4)2SO4 හා ඇමෝනියම් නයිට්‍රේට් (NH4NO3) ලෙසටත්, යූරියා (NH2CONH2) ලෙසටත්, නයිට්‍රජන් අඩංගු පොහොර නිපදවීමටත් ඇමෝනියා ඉතාම වැදගත් ප්‍රභවයක් වී ඇත.

මීට අමතරව නයිට්‍රික් අම්ලය නිපදවීමට හා වර්ණක නිපදවීමටත් ඇමෝනියා යොදා ගනියි. නයිලෝන් බහුඅවයවික නිපදවීමට යොදාගන්නා ඩයිඇමීන් නිපදවීමට ද ඇමෝනියා ප්‍රයෝජනවත් වේ. එසේම ශීතකාරකයක් ලෙසට හා පවිත්‍රකාරක ලෙසට ද ඇමෝනියා වැදගත් වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017