සාර්ථක රසායනික කර්මාන්ත සඳහා 5M හා 5S සංකල්ප - II
 මෙලෙස උපදවා ගන්නා ශක්ති ප්‍රභේද සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවේ. මෙයට හේතුව නිපදවෙන ශක්තියෙන් යම් ප්‍රමාණයක් අවට පරිසරයට හානි වන බැවිනි. තව ද ශක්ති සම්ප්‍රේෂණයේ දී ද ශක්ති හානිය සිදු වේ. මෙසේ හානි වන ශක්තිය අවම කරගත හැකි අතර එය කිසිවිටෙක ශුන්‍ය කර ගත නොහැකි ය.

අප භාවිත කරන සම්පත් වලට වටිනාකමක් ඇති වන්නේ ඒවා භාවිතයෙන් නව නිපැයුමක් බිහි කිරීමෙනි. සෑම සම්පතක් වෙනුවෙන් ම ජීව චක්‍රයක් (Life cycle) ඇත. ඕනෑම සම්පතක් සතු ජීව චක්‍රය නිර්මාණය, වර්ධනය, පරිණත වීම සහ ක්ෂය වීම ලෙස අවස්ථා කිහිපයකට බෙදා වෙන් කළ හැකි ය.

යම් කාල පාරාසයක් තුළ දී ප්‍රයෝජනයට නොගැනීමෙන් ඒවා යල් පැන ගිය සම්පත් බවට පත් වේ. යල් පැන ගිය සම්පත් නාස්තියක් ලෙස සැලකේ. එබැවින් සීමාකාරී සම්පත් පරිභෝජනයේ දී මනා කළමනාකාරිත්වයෙන් යුුතුව ඒවා පරිභෝජනය කිරීම කර්මාන්ත ශාලාවේ පැවැත්මට මෙන් ම දියුණුවට තුඩු දෙන ප්‍රධාන කරුණක් වේ.

කළමනාකාරිත්වය යනු කිසියම් කර්මාන්ත ශාලාවක හෝ ආයතනයක ගතික පරිසරයක් තුළ සම්පත් කාර්යක්ෂම ලෙස යොදා ගෙන කර්මාන්ත ශාලාවේ හෝ ආයතනයේ අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීම පිණිස අන් අය ලවා කරවා ගැනීමේ කලාව ය.

ඕනෑම කර්මාන්තයක සාර්ථකත්වයට ඵලදායිතාව (Productivity) අත්‍යවශ්‍ය අංගයක් වේ. නිෂ්පාදන ක්‍රියාවලියේ දී සම්පත් (Resources / Input) සැපයීම සහ කාර්යක්ෂම ලෙස ඒවා භාවිත කිරීම ඵලදායිතාව ලෙස සරලව හැඳින්විය හැකි ය. ලාභය උපරිම වන අන්දමටත් නාස්තිය අවම වන අන්දමටත් ක්‍රියා කිරීම කළ යුතු අතර කාලය, උත්සහාය, මිනිස් ශ්‍රමය අපතේ යයි නම් එතැන ඵලදායිතාවක් නැත. නිමැවුම් යෙදවුම් අතර අනුපාතය ඵලදායිතාව ලෙස සරලව හැඳින්විය හැකි ය.

ඵලදායිතාව යනු කාර්යක්ෂමතාවේ සහ සඵලතාවේ එකතුව ලෙස ද සැලකේ.
(c) Shilpa Sayura Foundation 2006-2017