තාපදායක හා තාපාවශෝෂක ප්‍රතික්‍රියා
 පද්ධතියක් සහ පරිසරය අතර සිදුවන තාප ශක්ති හුවමාරුවක දී අවසාන වශයෙන් ප්‍රතිඵල දෙකක් ඇතිවිය හැකිය. ඉන් එකක් නම් ආරම්භයේ දී පද්ධතිය සතු තාප ශක්ති ප්‍රමාණයට වඩා අඩු තාප ශක්ති ප්‍රමාණයක් අවසානයේ එකතු වීමයි. මෙවැනි විපර්යාසයක දී පරිසරයට තාප ශක්තිය මුදා හරිනු ලබන අතර එය තාපදායක විපර්යාසයක් ලෙස නම් කළ හැකිය.

තාපදායක විපර්යාසයක දී කාර්යයක් සිදු නොවේ නම් පරිසරයේ ශක්ති ප්‍රමාණය ආරම්භයට වඩා අවසානයේ දී වැඩි අගයක් ගනී.

එහි දෙවන ප්‍රතිඵලය විය හැක්කේ, ආරම්භයේ පද්ධතියේ තිබුණු ශක්ති ප්‍රමාණයට වඩා වැඩි ශක්ති ප්‍රමාණයක් අවසානයේ පද්ධතියට එකතු වීමයි. මෙහි දී පරිසරයෙන් පද්ධතිය වෙත තාප ශක්තිය ගලා ඒම සිදුවේ. එම නිසා ආරම්භයේ පරිසරයේ ශක්ති ප්‍රමාණයට වඩා අඩු ශක්ති ප්‍රමාණයක් අවසානයේ පරිසරය සතු වේ.

මෙවැනි පරිසරයෙන් තාපය අවශෝෂණය කරන විපර්යාසයක් තාප අවශෝෂක විපර්යාසයක් ලෙස නම් කළ හැකිය. තාප අවශෝෂක විපර්යාසයක දී කාර්යයක් සිදු නොවේ නම් පරිසරයේ ශක්ති ප්‍රමාණය ආරම්භයට වඩා අවසානයේ දී අඩු අගයක් ගනී.

රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක ඵල බවට පත්වීමේ දී ශක්ති ප්‍රමාණය මෙන්ම පරමාණුක සැකැස්මෙහි ද වෙනස් වීමක් සිදුවේ. තාප රසායනය යනු රසායනික ප්‍රතික්‍රියාවක සිදුවන තාප ශක්ති විපර්යාසය පිළිබඳ ව හැදෑරීමයි.

රසායනික විපර්යාසයක දී පරිසරයට තාපය මුදා හරින්නේ නම් එය තාපදායක විපර්යාසයකි.
ප්‍රතික්‍රියක → ඵල + ශක්තිය
(c) Shilpa Sayura Foundation 2006-2017