එක් මැනුම් ස්ථානයක් පමණක් යොදා ගනිමින් සිදු කරන තියඩොලයිට්ටු මැනුමක්
 යම් බිම් කොටසක් එක් මැනුම් ස්ථානයකින් පමණක් මැනිය හැකි වීමට නම් එම බිම් කොටස පහත දැක්වෙන ලක්ෂණවලින් සමන්විත විය යුතු ය.

* ඉතා කුඩා බිම් කොටසක් වීම.
* දළ වශයෙන් සමතල වීම.
* හිස් ඉඩමක් වීම (එනම් මෙහි දී අවශ්‍ය වන්නේ ඉඩමේ මායිම් සඳහා දත්ත පමණී.)
* එක් මැනුම් ස්ථානයක් තෝරා ගත් විට එහි සිට සියලු දත්ත නිරීක්ෂණය කළ හැකි වීම.

අදාළ මැනුම් ස්ථානය සඳහා ස්ථානයක් තෝරා ගැනීමේ දී පහත සඳහන් අවශ්‍යතා සලකා බැලිය යුතු ය.

* එහි සිට සියලු දත්ත හොඳින් දෘෂ්ටි විය යුතු ය.
* දත්තවල සිට මැනුම් ස්ථානයට දුර, මැනිය හැකි වන පරිදි, අතරමැද කිසියම් බාධකයක් නොතිබිය යුතු ය.
* මැනුම් ස්ථානයේ සිට දත්ත සඳහා තිරස් රේඛාවක් පිහිටුවිය හැකි වීම සහ එහි දුර මැනිය හැකි වීම.

මෙම සාධක සලකා බලමින් යම් ස්ථානයක් මැනුම් ස්ථානයක් ලෙස තෝරා ගැනීමෙන් පසු එය සිමෙන්තිවලින් හෝ ලීවලින් හෝ තැනූ කුඤ්ඤයක් මඟින් පොළොව මත නිශ්චිතව සලකුණු කරනු ලැබේ.

ඉන් පසු තියඩොලයිට්ටුව මඟින් අවශ්‍ය ක්‍රියාවලිය අනුගමනය කිරීමෙන් දත්ත සඳහා පාඨාංක ලබා ගත හැකි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017