ඉන්ධන පද්ධතිවල ඇති විය හැකි දෝෂ සහ නිවාරණය
 පෙට්‍රල් සහ ඩීසල් ඉන්ධන පද්ධතිවල ඇති විය හැකි විවිධාකාර දෝෂ හේතුවෙන් දහනයේ කාර්යක්ෂමතාවට නොයෙක් බලපෑම් ඇති විය හැකි ය. ඒවා ආර්ථික හා පාරිසරික වශයෙන් වර්ග කළ හැකි වේ. අසම්පූර්ණ දහනය නිසා ඉන්ධන පරිභෝජනය වැඩිවත් ම ආර්ථික අවාසි ඇති වන අතර, පූර්ණ දහනය සිදු නොවූ ඉන්ධන පරිසරයට එකතු වීමෙන් අහිතකර බලපෑම් ඇති කෙරේ.

අර්ධ දහනයට ලක් වූ ඉන්ධන පරිසරයට එකතු වන විට කාබන් මොනොක්සයිඩ් සහ කාබන් අංශු පරිසරයට මුසු වේ. සිලින්ඩරවලට දුර්වල ඉන්ධන මිශ්‍රණයක් සැපයුවහොත් සිලින්ඩර තුළ උෂ්ණත්වය වැඩි වී පරිසරය දූෂණයට හේතු වන නයිට්‍රජන් ඔක්සයිඩ් වර්ග නිකුත් වේ.

මේ නිසා සිලින්ඩර තුළට සපයන ඉන්ධන ප්‍රමාණය හා වාත ප්‍රමාණය නිවැරදි ව පවත්වා ගැනීම වැදගත් වේ. ඉන්ධන පෙරහන් සහ වායු ශෝධක නිෂ්පාදක උපදෙස්වලට අනුව නඩත්තු කිරීම හා මාරු කිරීම කළ යුතු ය. නොඑසේනම් ඉන්ධන පද්ධතිවල බොහෝ දුර්වලතා පෙරහන් අවහිර වීමෙන් ඇති විය හැකි ය. එසේ ම ඉන්ධන පද්ධතියේ ඇති සීරුමාරු කිරීමේ අවශ්‍යතාව මත සිදු කළ යුතු ය.
(c) Shilpa Sayura Foundation 2006-2017