මෝටර් රථයකට අවශ්‍ය අනෙක් පද්ධති
  නවතා ඇති මෝටර් රථයක් ආරක්ෂිතව නවතා තැබීම සඳහා ද, චලනය වන මෝටර් රථයක් ආරක්ෂිතව පැදවීමට ද අමතර පද්ධති කිහිපයක් දායක වෙයි. මෙම පද්ධති පිළිබඳ ව සැකෙවින් මෙසේය.

* රෝධක (තිරිංග) පද්ධතිය (Braking system)
ධාවනය වන මෝටර් රථයක වේගය බාල කිරීමටත්, අවශ්‍ය විටෙක නැවැත්වීමටත්, නවතා තිබෙන රථයක් චලනය නොවන සේ ආරක්ෂා සහිතව පවත්වා ගැනීමට නැවතුම් තිරිංග (Parking brake) යෙදීමට ද රෝධක පද්ධතිය මගින් සිදු කෙරෙයි.

* විදුලි පද්ධතිය (Electrical system)

එන්ජිම පණගැන්වීම, විදුලි පහන් දැල්වීම, වා මුවා පිස්නා ක්‍රියාත්මක කිරීම, මාර්ග භාවිත කරන අන් අයට විවිධ සංඥා නිකුත් කිරීම යනාදි නොයෙක් ක්‍රියාකාරකම් සඳහා විදුලිය භාවිතයෙන් ක්‍රියාත්මක වන උපකරණ රැසක් මෝටර් රථවල අන්තර්ගත කර ඇත. ඒවාට අවශ්‍ය විදුලිය සැපයීමට විදුලි පද්ධතිය යොදා ගැනේ.

* සුක්කානම් පද්ධතිය (Steering system)

මෝටර් රථය ක්‍රියාකරවන්නා විසින් අවශ්‍ය විටෙක එය ගමන් කරනු ලබන දිශාව වමට හෝ දකුණට හරවා වෙනස් කිරීමට සුක්කානම් පද්ධතිය භාවිත කෙරේ.

* අවලම්බන පද්ධතිය (Suspension system)

මාර්ගයේ ඇති විෂමතා නිසා ඇති වන ගැස්සීම් හා වාහනය ත්වරණය වන විට, වේගය බාල වන විට සහ හැරවීමේ දී ඇතිවන අසමතුලිත බල හේතුවෙන් මගීන්ට ඇති වන අපහසුතා අවම කිරීමට අවලම්බන පද්ධතිය භාවිත කෙරේ.

* සැකිල්ල (Frame)
මෝටර් රථයක බඳෙහි (Body) සහ චැසියෙහි (Chassis) එකතුව සැකිල්ල ලෙස සලකණු ලැබේ. එහි ඉහත කී සියලු පද්ධති අනේ‍යේන්‍ය ලෙස සම්බන්ධ කර ඇත. ගමන් කරනු ලබන මගීන්ගේ ආරක්ෂාව සහ සුවපහසුව සැපයීම ද සැකිල්ල මගින් සලසනු ලබන තවත් කාර්යයකි.

මෝටර් රථයක අන්තර්ගත කර ඇති මෙම පද්ධති සියල්ල එකිනෙකට සම්බන්ධ වන ආකාරය, එනම් ජව සම්ප්‍රේෂණ පෙළ (Drive train or Power transmission train) පහත රූපයෙන් පෙන්නුම් කෙරේ.
(c) Shilpa Sayura Foundation 2006-2017