ඉන්ධන දහනය වන ස්ථානය අනුව
  එන්ජිමක ඉන්ධන දහන ක්‍රියාවලිය එන්ජිම අභ්‍යන්තරයේ සිදු වේ නම් එය අභ්‍යන්තර දහන එන්ජිමක් (Internal combustion engine) ලෙස ද එම ක්‍රියාවලිය පිටතින් සිදු වේ නම් එය බාහිර දහන එන්ජිමක් (External combustion engine) ලෙස ද හඳුන්වයි.
අතීතයේ දී, බාහිර දහන එන්ජිම් (උදා: වාෂ්ප එන්ජිම) මෝටර් රථ භාවිත කළ ද, අභ්‍යන්තර දහන එන්ජිම නිපදවීමත් සමඟ ඒවායේ භාවිතය නැවතිණ. එබැවින් වර්තමානයේ අභ්‍යන්තර දහන එන්ජිම් භාවිතයට යොදා ගනියි. ඒ අනුව අනුවැටුම් චලිතය සහිත පිස්ටන් වර්ගයේ එන්ජිම් අභ්‍යන්තර දහන එන්ජිම් ගණයට අයත් වෙයි.

මෝටර් රථ සඳහා භාවිත නොකළ ද, විදුලිය ජනනය කිරීම පිණිස යොදා ගන්නා වාෂ්ප තල බමනය, වර්තමානයේ බාහිර දහන එන්ජිමක් උපයෝගි කරගන්නා අවස්ථාවකට නිදසුනකි. මෙහි දී ගල් අඟුරු (Coal), න්‍යෂ්ටික බලය (Nuclear power), දර (Dendro power) හෝ වෙනත් ඉන්ධන වර්ගයක් භාවිතයෙන් ජලය අධික පීඩනයක් හා උෂ්ණත්වයක් සහිත හුමාලය බවට හරවා තල බමනය වෙත සපයයි.
(සැ.යු. න්‍යෂ්ටික බලය භාවිත වන අවස්ථාවේ දහන ක්‍රියාවලියක් සිදු නොවන අතර න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින් ජලය රත් කිරීමට අවශ්‍ය තාපය නිපදවයි) ටර්බයිනය හරහා ගමන් කිරීමේ දී හුමාලය තුළ ගබඩා වූ ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය වේ. අභ්‍යන්තර දහන එන්ජිමක් හා සැසදූ කළ බාහිර දහන එන්ජිමක දහන ක්‍රියාවලිය නොකඩවා සිදු වීම එහි ඇති විශේෂත්වයකි.
(c) Shilpa Sayura Foundation 2006-2017