විලායක
 යොත් තුළින් ගලායන අධි ධාරාව නිසා සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා විලායක (Fuses) භාවිත වේ. නිවෙස තුළ දී සිදුවන ලුහුවත් වීමක දී හෝ උවාරණයක දෝෂයක් නිසා ප්‍රමත ධාරාවට (Rated current) වඩා වැඩි ධාරාවක් ගලා ගිය හොත් සජීව සන්නායකය විසන්ධි කිරීම විලායකයේ කාර්යය යි. විලායක තුළ ධාරාව ගෙන යන්නේ පහසුවෙන් ද්‍රවාංකයට ළඟා වන ලෝහයකින් තැනූ කම්බියක් මාර්ගයෙනි. එහි හරස්කඩ වර්ගඵලය මත ගෙන යා හැකි ධාරාව වෙනස් වේ. එහි ප්‍රමත ධාරාව ඉක්ම වූ විට කම්බිය ද්‍රව වී පරිපථය විසන්ධි වේ.

ගෘහ පරිපථවල නැවත කම්බි යෙදිය හැකි වර්ගයේ විලායක භාවිත කෙරේ. මෙම විලායක වාහකය සහ විලායක පාදම ලෙස කොටස් දෙකකින් සමන්විත ය. 5 Aක ධාරාවකට යෙදූ විලායක කම්බි තුළින් 5 Aක ධාරාවක් බොහෝ වේලාවක් ගලා යා හැකිය. එහෙත් ධාරාව 5 Aට වඩා වැඩි වන විට යොදා ඇති කම්බිය විලයනය වී උප පරිපථය විසන්ධි වේ. මෙසේ ගමන් කළ හැකි උපරිම ධාරාව යොදා ඇති විලායක කම්බිය අනුව එකිනෙකින් වෙනස් වේ. පැරණි පරිපථ සඳහා විලායක භාවිත කළ ද නවීන පිහිටුම්වල භාවිත කරන්නේ සිඟිති පරිපථ බිඳිනයන් ය.
(c) Shilpa Sayura Foundation 2006-2017