වළගම්බා (වට්‌ට ගාමිණී අභය) ක්‍රි.පූ. 103-103
 

ක්‍රි.පූ. 103-103
අගනගරය - අනුරාධපුරය (පා.කා. පළමුවර මාස 05 යි)


වළගම්බා රජු අභිෂේක ලැබ පස්‌වෙනි මාසයේ රුහුණු රට වාසය කළ තිස්‌ස නම් බමුණෙක්‌ ද මහත් පිරිසක්‌ රැස්‌කරගෙන යුද්ධයට සැරසුණෙය. එකල්හිම ඉන්දියාවේ දෙමළ කුමාරවරු සත් දෙනෙක්‌ සෙනඟ ගෙන ලංකාවට ගොඩ බැස්‌සෝය. බ්‍රාහ්මණතිස්‌ස තෙමේ ඒ දෙමළ පිරිස හා සටනට ගොස්‌ මරුමුවට පත්විය. ඉක්‌බිති දෙමළ: සේනාපතීහු රජු හා යුධ කළෝය. රජ යුද්ධයෙන් පැරදී අනුරාධපුර තීර්ථකාරාමයේ දොරටුවෙන් පලා ගියේය. පලායන රජු දැක ගිරි නම් නිගණ්‌ඨයෙක්‌ 'මහාකළු සිංහලයා පලායෙයි' කියා මුර ගැසීය. රජ තෙමේ ඒ අසා 'මාගේ මනෝ රථය මුදුන් පැමිණි කල මෙතැන්හි වෙහෙරක්‌ කරවන්නෙමැ' යි සිතුයේය.

රජුගේ සෝමාදේවී නම් බිසවද මහානාග නම් පුත්‍රයා ද කලුන්නා රජහුගේ බිසව් අනුලා දේවිය ඇයගේ ළදරු පුත් වූ මහාචූල නම් කුමාරයා ද රජු සමඟ රථයෙහි උන්නෝය. රථය බරව තිබුණු බැවින් රජ තෙමේ සෝමා දේවිය ඇයගේම අනුමැතියෙන් රථයෙන් බස්‌වා ඉතිරි තුන්දෙනා හා සමඟ පලාගොස්‌ වෙස්‌සගිරි විහාර බඳ වනයෙහි සැඟවුණේය. එහිදී මහාතිස්‌ස නම් හිමිනමක්‌ ඔවුන්ට ආහාර දුන්හ. එයින් ගොස්‌ ගල්හෙබගොඩ නම් ස්‌ථානයක විසීය. එතැනින් ද පලාගොස්‌ සල්ගල වනයේ දාහතර අවුරුද්දක්‌ වාසය කෙළේය. එහිදී තනසීව නම් අධිපතියෙක්‌ රජහට උපස්‌ථාන කෙළේය.

දෙමළ කුමාරවරු සත්දෙනා අතුරෙන් එකෙකු සෝමා දේවිය පැහැරගෙන ගියේය. තවෙතෙක්‌ අනුරාධපුරයෙහි තිබූ බුදුන්ගේ පාත්‍රාධාතුව ගෙන ගියහ. ඉතිරි පස්‌දෙනා එකිනෙකා මරා රාජ්‍යය පැහැර ගනිමින් දාහතර වසක්‌ රජ කළහ.

(c) Shilpa Sayura Foundation 2006-2017