දුටුහැමුණු ක්‍රි.පූ. 161-137
 

ක්‍රි.පූ. 161-137
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු.24 යි)

දුටුගැමුණු රජ මෙසේ ජය ලැබ මහත් පෙරහරින් අනුරාධපුරයට වැද ක්‍රි.පූ. 161 වෙනි වර්ෂයේ දී මුළු ලංකාව එක්‌සත් කොට සිංහල ආණ්‌ඩුව නැවතත් පිහිටුවා අනුරාධපුර 24 අවුරුද්දක්‌ රාජ්‍යය කෙළේය. හෙතෙම එළාර රජුගේ මෘත ශරීරය ඔහු වැටී මළ තැනම මහත් ගෞරවයෙන් ආදාහනය කරවා එහි සොහොන් කොතක්‌ බඳවා තමාගෙන් පසු රාජ්‍යයට පැමිණෙන සිංහල රජුන් විසින් ඒ සොහොන් පළට ගෞරව පවත්වන හැටියට ආඥාවක්‌ ද පැනෙවුවේය.

මේ නියෝගයේ ප්‍රකාර ඉංග්‍රීසින්ට ලංකාව අත්පත් වූ කාලය දක්‌වා සිංහල රජවරු එළාර රජුගේ සොහොන්පළ පසුකොට යනවිට තුර්&නාද නවත්වා වාහනයෙන් බැස යෑම සිරිතක්‌ කොට පැවතුණි.

දීඝ ජන්තු යෝධයාගේ බෑනණු කෙනෙක්‌ වූ භල්ලුක නම් දෙමළ කුමාරයෙක්‌ ලංකාවේ තම මයිලණුවන් ගේ පණිවුඩ අසා සැටදහසක්‌ පමණ යුද්ධ හමුදාවක්‌ පිරිවරාගෙන සොළී රටින් පිටත්ව අවුත් එළාර රජු දැවූ සත්වෙනි දවස්‌ ලක්‌දිව බැස අනුරාධපුරය දෙසට ගමන් කළේය. දුටුගැමුණු රජ පෙරමුණට ගමන් කොට පහසුවෙන්ම ඔවුන් පරාජය කොට විසුරුවා හැරියේය. භල්ලුක තෙමේ ද යුද්ධ භුමියේ දී ඊ පහරක්‌ වැදී මළේය.

දුටුගැමුණු රජු මෙපරිද්දෙන් ලක්‌දිව යටත් කොටගෙන තමාගේ ඉතිරි කාලය බුද්ධ ශාසනාභිවෘද්ධිය සඳහා ගත කළේය. මහත් ධන වියදම් කොට මාහැඟි වෙහෙර දාගැබ් බොහෝ ගණනක්‌ කරවූයේය.

මේ රජු විසින් කරවන ලද විශාල කර්මාන්තය නම් අනුරාධපුර ලෝවාමහාපාය වේ. ඒ වනාහි අංශකයට අඩි 270 ක්‌ ඇති ගල් කණු 1600 ක්‌ පිට සාදන ලද සමචතුරශ්‍රාකාර නව මහල් ප්‍රාසාදයකි. එහි ලැගුම් ගෙවල් 900 ක්‌ ඇතුළත්ය. පියස්‌ස ලෝහයෙන් කරන ලද බැවින් ලෝවාමහාපාය යන නාමය ව්‍යවහාර විය. නටඹුන් වූ මේ ප්‍රාසාදයේ ගල් කණු තවමත් බිම සිට අඩි 12 ක්‌ උසය. මේ රජු විසින් කරවන ලද තවත් කර්මාන්ත දෙකක්‌ නම් මිරිසවැටි දාගැබ සහ රන්මැලි මහා සෑයත්ය.

දුටුගැමුණු රජ රෝගාතුර වී තමාගේ මරණය ලංවූ බව දැනගත් කල රුවන්වැලි මහ සෑයටද ලෝවාමහා ප්‍රාසාදයට ද අතරේ ඇඳක්‌ තනා එහි සයනය කෙළේය.
මෙසේ ඉඳිනා අතර එක්‌තරා සේනාධිපතියකු හට ආමන්ත්‍රණය කොට 'පෙර මම දස මහා යෝධයන්ගේ ආධාර ඇතිව දෙමළුන් හා සටන් කෙළෙමි, දැන් වනාහි හුදකලාවම මරුවා හා අන්තිම සටන කරමි. නමුත් මාගේ මේ සතුරා පරාජය කරන්ට මට නොහැකිය' යි කීයේය. ඉක්‌බිති දාගැබ දෙසට ඇස්‌ හෙළාගෙන පරලෝකප්‍රාප්ත වූයේය.

(c) Shilpa Sayura Foundation 2006-2017