ආර්ථික රටාවේ වෙනස්වීම
 

ක්‍රි.ව. 1215 දී කාලිංග මාඝ ආක්‍රමණය නිසා රාජධානි නිරිත දිග ප්‍රදේශවලට මාරු වීමත් සමඟ ම රජරට ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ කෘෂිකාර්මික ආර්ථික පදනම බිඳ වැටුණේය. දහතුන් වන සියවසේ නිරිත දිග ප්‍රදේශ ආශ්‍රිතව රාජධානි ගිරිදුර්ග මුල්කරගෙන පිහිටුවා ගැනීමෙන් පසු මහා වැව් හෝ වාරිමාර්ග මේ කාලයේ ඉඳි කොකළ බව පැහැදිලිය.



මේ කාලයේ ජනතාව හේන් ගොවිතැන වැනි කෘෂිකාර්මික කටයුතුවල යෙදුන ද අහස් දිය උපයුක්ත කර ගනිමින් ගොවිතැන් කටයුතුවල නියැලෙන්නට ඇත. මෙකල තෙත් කලාපයේ වෙරළ ආශ්‍රිතව පොල් වගාව ව්‍යාප්තව පැවැති බව හෙළි වේ. කළුතර, බෙන්තොට, තොටගමුව, මොරටුව, කැලණිය සහ කෑරගල වැනි ප්‍රදේශවල පොල් උයන් ව්‍යාප්තව තිබූ බව පිළිගැනෙයි. තවද, තෙත් කලාපයේ වනගත ප්‍රදේශවල කුරුඳු වෙළඳ බෝගයක් ලෙස ව්‍යාප්තවීම නිසා 15වන සියවස වන විට ලෝකයේ හොඳම කුරුඳු වෙළෙඳාම මෙරට බව ප්‍රසිද්ධ වී ඇත.


තෙත් කලාපයේ ගෙවතුවල පුවක්, ගම්මිරිස්, සාදික්කා හා එනසාල් වැනි අතිරේක බෝග ද, මුතු, මැණික්, ඇතුන්, ඇත් දළ ආදී වෙළෙඳ ද්‍රව්‍යය ද මෙකල පිටරටවල අපනයනය කර ඇත. මේ ආකාරයට කෘෂිකාර්මික ආර්ථික රටාව දුර්වල වී වාණිජවාදී ආර්ථික රටාවකට යොමුවීම මේ යුගවලදී කැපී පෙනෙන ලක්ෂණයක් වෙයි. 14 සහ 15 වන සියවස්වල දී පෙර කාලවලට වඩා පෙර-අපරදිග රටවල් සමඟ වෙළෙඳාම දියුණුව පැවැති බව පිළිගැනෙයි.


මෙකල ඉන්දියාව, චීනය වැනි පෙරදිග රටවල් සමඟ ද, පර්සියාව, අරාබිය, ඊජිප්තුව වැනි අපරදිග රටවල් සමඟ ද වෙළෙඳාම දියුණුව පැවැති බවට තොරතුරු හෙළිවෙයි. මේ අනුව මෙම යුගවලදී ආර්ථික රටාවේ කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. එනම්,

* මෙම යුගවල මහවැව් සහ වාරිමාර්ග ඉඳි නොවීම

* අහස්දිය උපයෝගි කරගෙන ගොවිතැන් කටයුතුවල නිරතවීම

* වෙරළබඩ ප්‍රදේශවල පොල් වගාව ව්‍යාප්ත වීම

* කුරුඳු වෙළඳ බෝගයක් ලෙස ව්‍යාප්ත වීම

* මුතු, මැණික්, ඇතුන්, ඇත් දළ අපනයනය කිරීම

* වාණිජවාදී ආර්ථිකයකට නැඹුරු වීම

* අභ්‍යන්තර වෙළෙදාම දියුණුව පැවැතීම

* පුවක්, ගම්මිරිස්, එනසාල්, සාදික්කා වැනි බෝග අපනයනය කිරීම
(c) Shilpa Sayura Foundation 2006-2017