යාපනය රාජධානිය ව්‍යාප්ත වූ ආකාරය
 

යාපන රාජධානියේ ආර්යචක්‍රවර්තී පරපුරේ ප්‍රථම පාලකයා වූයේ විජය කුලංකෙයි චක්‍රවර්තී ය. හින්දු භක්තිකයන් වූ මොවුන්ගේ සංකේතය වී ඇත්තේ වෘෂභ යාය. රජවරුන්ගේ කාසිවල පවා වෘෂභ රූප යොදාගෙන ඇති බව හෙළි වෙයි.

වරෝදය නමැති චක්‍රවර්තී යටතේ ඔවුන්ගේ රාජධානියේ බලය උච්ච අවස්ථාවකට පත් වූ බව හෙළි වේ. ක්‍රි.ව. 1344 දී ලංකාවට පැමිණි ඉබ්න්බතුනා ද ඉන්දීය වෙළෙඳුන් ආර්ය චක්‍රවර්තීන්ට තුටු පඬුරු දුන් බවත්, ආර්ය චක්‍රවර්තීන්ට විශාල නාවික බලයක් ද හිමි ව තිබූ බවත් හෙළි කර ඇත.


ආර්යචක්‍රවර්තීන් ගම්පොළ රාජධානිය දෙවරක් ම ආක්‍රමණය කළ බව නිකාය සංග්‍රහයෙන් හා රාජාවලියෙන් කියැවෙයි. අලගක්කෝණාර (අලකේශ්වර) මෙම ආක්‍රමණ මැඬ පැවැත්වූ බවත් නියම්ගම්පාය ශිලා ලිපිය අනුව හෙළි වේ. අලකේශ්වර විසින් කෝට්ටේ බලකොටුවක් ඉඳිකරන ලද්දේ ආර්ය චක්‍රවර්තීන්ගේ බලය මැඬ පැවැත්වීම සඳහා බව පිළිගැනෙයි.


කෝට්ටේ ප්‍රථම පාලකයා වූ හයවන පරාක්‍රමබාහු රජතුමා, වන්නි බලය තහවුරු කරගත් පසු යාපනය යටත් කර ගැනීමට කටයුතු කර ඇත. ඒ අනුව මෙතුමාගේ පුත් තනතුරේ වැඩුණු සපුමල් කුමාරයා 1450 දී යාපනයට යවා කණකශූරිය ශිංගෛ ආරියන් පලවා හැර යාපනයේ රජ වී ඇත. සපුමල් කුමාරයාගේ පාලන සමයේ යාපනයේ නල්ලූර්හි කන්දස්වාමි දේවාලය ශෛව භක්තිකයින් උදෙසා ඉඳිකළ බව හෙළිවෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017