යාපනය රාජධානිය
 යාපන රාජධානියේ සමාරම්භය 13වන සියවසේ අවසාන දශකයේ හා 14වන සියවසේ මුල් දශකයේ සිදුවූ බව පිළිගැනීමයි. යාපන රාජධානිය පිළිබඳ තොරතුරු හෙළිවන මූලාශ්‍රය ලෙස යාල්පානවෛපව මාලෙයි, ශේගරාසසේකර මාලෙයි යන කෘති වැදගත් වේ. කාලිංග මාඝ සතුව තිබූ රජරට ප්‍රදේශ චන්ද්‍රබානු විසින් කුලී හමුදාවන්ගේ ආධාර ඇතිව නතුකර ගෙන තිබේ. චන්ද්‍රබානු උතුරේ ගොඩනගා ගෙන තිබූ රාජධානිය වීරපාණ්ඩ්‍යගේ ආක්‍රමණයෙන් පසු නිමා වී ඇත. පාණ්ඩ්‍ය ආධිපත්‍යයේ ප්‍රතිඵලයක් ලෙස ආර්ය චක්‍රවර්තී නමැති පරම්පරාවක් යාපන රාජධානියේ බලය නතුකරගෙන ඇත. මේ අනුව "චක්‍රවර්තී" නාමය යනු යාපනයේ පාලකයින් හැඳින්වූ පරම්පරා නාමයක් වේ.

මැක්කරා නමැති ලන්දේසි ආණ්ඩුකාරයාගේ ඇරයුමෙන් "මයිල්වාක" නැමැත්තෙකු විසින් ක්‍රි.ව. 1736 දී ලියන ලද "යාල්පාන වෛපව මාලෙයි" දෙමළ පොත් අතරින් ඉතා ප්‍රකට කෘතියක් වේ. මෙහි ආර්ය චක්‍රවර්තී පරපුරේ රජවරුන් දොළොස් දෙනෙකු පාලනය කළ බව යාල්පාන වෛපව මාලෙයි කෘතියෙන් හෙළිවෙයි. එනම්, විජය කුලංකෙයි චක්‍රවර්තී, කුලශේඛර ආරියන්, වික්කිරඛ ශිංගෛ ආරියන්, වරෝදය, මර්තාණ්ඩු, කුණපූෂණ, වීරෝදය, ජයවීර, කුණ වීර, කණක ශූරිය, පරරාජසේකරම්, සංකිලි නම් වේ. මෙම යාල්පාන වෛපව මාලෙයි කෘතිය පක්ෂපාති ව කරුණු දක්වා ඇති කෘතියක් බවත්, නිරන්තරයෙන්ම යාපනයෙහි පැවතියේ ප්‍රාදේශීය පාලනයක් බවත්, එය සිංහල රාජධානියට යටත් ව පැවැති බවත් බොහෝ විද්වතුන්ගේ අදහසයි.
(c) Shilpa Sayura Foundation 2006-2017