පරාක්‍රමබාහු රජ වූ මුල් කාලයේ ඉන්දීය විජයනගර් අධිරාජයා මෙරට ආක්‍රමණය කර ඇත. මෙම ආක්‍රමිකයන් පලවා හැරීමට මේ රජතුමා සමත් විය. පැරකුම්බා සිරිතෙහි විජයනගර් අධිරාජයා පරාජය වීමේ පුවත වර්ණනා කර ඇත. යාපන රාජ්‍ය හා කෝට්ටේ රාජ්‍ය අතර වන්නි ප්‍රධානීන් සතු ප්‍රදේශ ද හයවන පරාක්‍රමබාහු රජතුමා විසින් යටත් කරගන්නා ලදී.
විජයනගර් අධිරාජයාගේ බලය හීනවන බව අවබෝධ කරගත් මෙම රජතුමා යාපනය යටත් කර ගැනීම පිණිස ස්වකීය පුත් තනතුරේ වැඩුණු සපුමල් කුමාරයා එහි යැව්වේය. කෝට්ටේ රාජ්‍යයේ සේනාපති තනතුරු ඉසිලූ සපුමල් කුමරු ආර්ය චක්‍රවර්තීන්ගේ හා විජයනගර් යුද්ධ සේනා පරාජය කර ජයගනු ලැබීය. මෙයින් පසු යාපනය මධ්‍යස්ථානය කරගෙන සපුමල් කුමරු හයවන පරාක්‍රමබාහු ගේ අභාවය තෙක් යාපන අර්ධද්වීපය පාලනය කළේය. සපුමල් කුමාරයා චම්පක පෙරුමාල් නමින් ද, සෙම්බගප්පෙරුමාල් දමිළ නම් වලින් ද හැඳින්වූ බව පසු කාලීන පෘතුගීසි ඉතිහාසඥයින්ගේ වාර්තාවලින් හෙළිවෙයි.
යාපනය කෝට්ටේ රාජ්‍යයට නතු වූ පසු දකුණු ඉන්දියාවේ අදිවිරරාම පට්ටන නමැති වරාය වෙත පරාක්‍රමබාහු රජු විසින් ආක්‍රමණයක් එල්ල කරන ලදී. මෙම නාවික ප්‍රහාරය ගැන සමකාලීන මූලාශ්‍රයක් වන ගිරා සංදේශයෙන් හෙළිවෙයි. මෙයට හේතු වූයේ දකුණු ඉන්දියානු ප්‍රාදේශීය ප්‍රධානියෙකු වූ මාලවරායර විසින් සිංහල රජුගේ නැව් කිහිපයක් සොරකම් කිරීමයි. මෙම වෙළඳ තොටුපළට පහර දී ගම් හතකින් වාර්ෂික ව අයබදු මෙරටට ගෙන්වා ගත් බව රාජාවලියේ ද සඳහන් වේ.
මෙකල උඩරට ප්‍රදේශයේ 'ජෝතිය සිටාණ' ඇමති පරාක්‍රමබාහුට පඬුරු සහ කප්පම් ගෙවීම ප්‍රතික්ෂේප කර කැරැල්ලක් ඇති කළේය. රාජාවලියේ මොහු හඳුන්වා ඇත්තේ 'සෝජාත සිටුරජ' යන නමිනි. අවුරුදු පතා එවන අයබදු හා මිනිසුන් ද නතර කර උඩරට කැරැළි ගැසූ බව රාජාවලිය ද කියයි. මෙම කැක්‍ෂැල්ල මැඬලීමට පරාක්‍රමබාහු රජු සපුමල් කුමාරයාගේ සහෝදරයා වූ පුත් තනතුරේ වැඩුණු අම්බුළුගල කුමරු මෙහෙයවා ඇත. ඔහු මෙම කැරැල්ල මැඬ ජෝතිය සිටාණන්ගේ පවුලේ නැයන් සිරභාරයට ගෙන පරාක්‍රමබාහු රජු බැහැදුටු බවත්, රජතුමා අම්බුළුගල කුමරුට තානාන්තර ප්‍රදානය කළ බවත් මූලාශ්‍රයවල සඳහන් වේ.
හයවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ නර්නූර්තුනයා හා රාමචන්ද්‍රභාරතී වැනි ගිහි පඬිවරු ද, තොටගමුවේ රාහුල හිමි, වීදාගම මෛත්‍රී හිමි, වෑත්තෑවේ හිමි හා ඉරුගල් කුලතිලක පිරිවෙන්පති හිමි යන පැවිදි පඬිවරු රැසක් ද වූහ. පරාක්‍රමබාහු රජු ක්‍රි.ව. 1467 මියගිය පසු එතුමාගේ උලකුඩය නමැති දියණියගේ පුතා වන ජයබාහු කුමාරයා කෝට්ටේ රජවිය.
මෙයින් කෝපයට පත් යාපනයේ පාලනය බාරව සිටි සපුමල් කුමරු ජයබාහු ඝාතනය කර හයවන බුවනෙකබාහු නමින් ක්‍රි.ව. 1469 දී කෝට්ටේ රජවිය. ඔහු ක්‍රි.ව. 1478 දක්වා කෝට්ටේ රාජ්‍ය කළ බව රාජාවලිය සඳහන් කරයි.
ජයබාහු මරා දැමීම නිසා කුපිත වූ පස්දුන් කෝරළේ කැකුළන්දොළ සිරිවර්ධන පතිරාජයන් හා කුරගම හිමිපාණන් විසින් බුවනෙකබාහුට විරුද්ධව කැරැල්ලක් ඇති කරන ලදී. දැදිගම ශිලාලිපියේ මෙම කැරැල්ල "සිංහල සංගෙ හෙවත් සිංහල සංගාමයක්" ලෙස හඳුන්වා දී ඇත. රාජාවලියේ එය "සිංහල පෙරළිය" ලෙස හඳුන්වා ඇත. මෙම කැරැල්ල වසර පහක් පැවති බව හෙළිවේ. අම්බුළුගල කුමාරයා යවා මෙම කැරැල්ල මැඬලීමට හයවන බුවනෙකබාහුට වසර හතරක් ගත වූ බව සඳහන් වේ. හයවන බුවනෙකබාහුගෙන් පසු ඔහුගේ පුත් හත්වන පරාක්‍රමබාහු ක්‍රි.ව. 1480-1484 දක්වා කෝට්ටේ රජ කළේය. ඔහු වයිපුර බණ්ඩාර හෙවත් පණ්ඩිත පරාක්‍රමබාහු වශයෙන් ද හඳුන්වා ඇත. ඉන්පතු අම්බුළුගල කුමාරයා විසින් හත්වන පරාක්‍රමබාහු ඝාතනය කර ක්‍රි.ව. 1484-1508 දක්වා අටවන වීර පරාක්‍රමබාහු නමින් කෝට්ටේ රාජ්‍ය පාලනය කරන ලදී.
