ක්‍රි.ව. 1341-1351 දක්වා ගම්පොළ රජකල හතරවන බුවනෙකබාහුගේ පාලන මධ්‍යස්ථානය ගංගා සිරිපුර හෙවත් ගඟ සිරිපුර නමින් හැඳින්වූ ගම්පොළට මාරු කිරීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැත. එසේ වුවද මධ්‍යම කඳු ප්‍රදේශයේ පිහිටා තිබූ වඩා සුරක්ෂිත ස්ථානයක් ලෙස ගම්පොළ තෝරාගැනීමට බලපෑ හේතු රාශියකි. එනම් මහවැලි ගඟ අසබඩ ජල පහසුකම් වලින් අනූන නිම්නයක පිහිටා තිබීම, ශ්‍රීපාද මාර්ගයේ සන්ධිස්ථානයක පිහිටා තිබීම, උප නගරයක් සේ පැවතීම හා කඳුවලින් වට වූ සමතලා බිමක පිහිටා තිබීම වැනි හේතු බලපා ඇත.
හතරවන බුවනෙකබාහු ගම්පොළ අගනුවර වශයෙන් තෝරාගෙන රාජ්‍යයට පත් වී ත්‍රිසිංහලාධීශ්වර යන නම භාවිත කළත්, එය අර්ථාන්විත නොවේ. මොහු ගම්පොළ රජකරන කාලයේ මූහුගේ සහෝදරයා වූ පස්වන පරාක්‍රමබාහු කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම පාලනය කළ බවත්, යාපනය ආර්ය චක්‍රවර්ති යටතේ නිදහස් පාලනයක් ගෙන ගිය බවත් හෙළිවේ.
1344 දී ලංකාවට පැමිණි අරාබි ජාතික ඉබන් බකුතා විසින් යාපන රාජධානියේ ආර්ය චක්‍රවර්තිට විශාල බලයක් තිබූ බවත්, නාවික හමුදාවක හිමිකරුවකු වූ බවත් හෙළිකර තිබේ. හතරවන බුවනෙකබාහුට පසුව ගම්පොළ රජ වූයේ පස්වන පරාක්‍රමබාහු ය. මේ කාලයේ ගම්පොළ රජ පවුල හා සම්බන්ධ ප්‍රභූ පවුල් දෙකක් හඳුනාගත හැකිය. එනම්, සේනාධිලංකාර පවුල සහ අලකේශ්වර පවුල යි.
සේනාධිලංකාර සෙනෙවිරත් පවුල සිව්වන බුවනෙකබාහු රජුගේ දේශපාලන කාර්යයන් මෙහෙය වූ ප්‍රබලතම ඇමතිවරයෙකි. පස්වන පරාක්‍රමබාහු රජුගේ අගමැති ලෙස මෙතුමා කටයුතු කර තිබෙන බව හෙළි වෙයි. ගම්පොළ රාජධානියේ පස්වන පරාක්‍රමබාහු රජුට පසුව, රජ වූ තෙවන වික්‍රමබාහු දුර්වල පාලකයෙකු විය.
කළුතර දිස්ත්‍රික්කයේ රයිගම වාසභූමි කරගත් අලකේශ්වර තුන්වන විජයබාහු රජුගේ දේශපාලනය මෙහෙය වූ ප්‍රධාන අගමැතිවරයා විය. අලකේශ්වර පවුල තෙවන වික්‍රමබාහු රජුගේ කාලයේ සිට ම ප්‍රධාන ඇමති ධූරය දරමින්, ගම්පොළ රජවරුන්ගේ දේශපාලන ආධිපත්‍ය රැකගැනීමේ කාර්යය මෙහෙයවා ඇති බව පිළිගැනෙයි. පස්වන බුවනෙකබාහු රජුගේ පාලන තන්ත්‍රය මෙහෙය වූ නියමුවා ලෙස ද අලකේශ්වර කටයුතු කර ඇත. මේ කාලයේ යාපන රාජ්‍යයේ ආර්ය චක්‍රවර්තිගේ බලය දකුණු ප්‍රදේශ වලට ව්‍යාප්ත වූ අතර මන්නාරමේ සිට පානදුර දක්වා තොටුපළවලින් බදු එකතු කිරීමට බදු එකතු කළ බව ද හෙළි වෙයි.
මෙම ආර්ය චක්‍රවර්තිගේ ද්‍රවිඩ බල ව්‍යාප්තිය මර්දනය කිරීමට අලකේශ්වර විසින් කෝට්ටේ බලකොටුවක් ඉඳිකරන ලදී. අනතුරුව අලකේශ්වර බටහිර ප්‍රදේශවල සිටි ආර්යචක්‍රවර්තිගේ බදු එකතු කරන්නන් නෙරපා දමා ඇත. මෙම ක්‍රියා කලාපයට අතිශයින් කිපුන ආර්ය චක්‍රවර්ති, මුහුදින් හා මාතලේ හරහා ගොඩබිමින් ගම්පොළට ආක්‍රමණයක් එල්ල කර ඇතත් එය සාර්ථක වී නැත.
පස්වන බුවනෙකබාහු රජුගේ කාලයේ දී ද ආර්ය චක්‍රවර්ති විසින් චෝළ රජුගේ උපකාර ඇතිව මුහුදින් හා ගොඩබිමින් ආක්‍රමණයක් එල්ල කරන ලදී. මුහුදින් පැමිණි හමුදාව පානදුරයෙන් බැස දෙමටගොඩ, ගොරකාන ඔස්සේ පහර දී ඇති බවත් ගොරකානේ දී ඔවුන් පලවා හැරීමට අලකේශ්වර සමත් වී ඇති බවත් රාජාවලිය පවසයි.
ගොඩබිමින් පැමිණි සේනාව ද මාතලේ දී පරාජයට පත් වී ඇත. අලකේශ්වරගේ මරණින් පසු ඔහුගේ පවුලේ අය රයිගම පාලන මධ්‍යස්ථානය කරගෙන පස්වන බුවනෙකබාහු රජුට සහාය ලබා දී ඇත. අලකේශ්වර පසු කුමාර අලකේශ්වර ද ඉන් පසුව වීර අලකේශ්වර ද රයිගම පාලනය ගෙන ගොස් ඇත. පස්වන බුවනෙකබාහු රජතුමා ස්වකීය පාලන මධ්‍යස්ථානය ක්‍රි.ව. 1396 දී පමණ කෝට්ටේ නගරයට මාරු කර ඇත.
ඔහුගෙන් පසු ආදිපාද වීරබාහු රජවිය. රයිගම කේන්ද්‍රස්ථානයේ බලය වීර අලකේශ්වර සතු විය. ආදිපාද වීරබාහු විසින් වීර අලකේශ්වර පරාජය කළ බැවින් ඔහු දකුණු ඉන්දියාවට පලා ගිය බව හෙළි වෙයි. ක්‍රි.ව. 1399 දී නැවත වීර අලකේශ්වර ඉන්දියාවේ සිට පැමිණ වීරබාහු නෙරපා හැර රයිගම බලය ලබාගෙන ඇති බව පිළිගැනෙයි. චීන මූලාශ්‍ර අනුව මෙකල චීන අධිරාජයා විසින් ඉන්දියන් සාගරයේ චීන වාණිජ බලය තරකිරීමේ අරමුණින් චෙංහෝ සෙන්පතියා යටතේ විශාල නාවික හමුදාවක් ඉන්දියන් සාගරයට එවන ලදී. ක්‍රි.ව. 1405 දී පමණ චෙංහෝ සෙන්පතියා ලංකාවට ද ගොඩ බැස්සේය.
මේ අවස්ථාවේ වීර අලකේශ්වර විරුද්ධ වීම නිසා චෙංහෝ ආපසු ගොස් තිබේ. චීන අධිරාජ්‍යයාගෙන් තුටු පඬුරු රැගෙන නැවතත් චෙංහෝ ක්‍රි.ව. 1411 දී මෙරටට පැමිණියත්, අලකේශ්වරගේ විරුද්ධකම් වලට මුහුණ පා ඇත. මෙම අවස්ථාවේ දී වීර අලකේශ්වර පරාජය කොට ඔහු ඇතුළු ඥාතීන් සිරකරුවන් ලෙස චීනයට ගෙන ගිය බව හෙළිවේ. චීන අධිරාජයා තම නියෝජිතයා ලෙස පරාක්‍රම ඈපා හෙවත් පරාක්‍රමබාහු නම් කළ බව සඳහන් ය.
