යාපහුව රාජධානිය - ක්‍රි.ව. 1272-1300
 

මිත්ත සෙනෙවියා විසින් හතරවන විජයබාහු ජීවිතක්ෂයට පත්කිරීමෙන් අනතුරුව විජයබාහුගේ සහෝදරයා වූ බුවනෙකබාහු ආදිපාද මැරවීමට ද චරපුරෂයින් යොදවන ලදී. බුවනෙකබාහු ආදිපාද ආරක්ෂාව පතා යාපහුවට පලා ගොස් ඇත. 1272 දී දකුණු ඉන්දීය සේනාවේ නායක "ඨකුරක" සේනාධිපතියා විසින් මිත්ත සෙනෙවියා මරා පළමුවැනි බුවනෙකබාහු කුමාරයා දඹදෙණියට කැඳවා අභිෂේක කරවනු ලැබීය.


පළමුවැනි බුවනෙකබාහු විසින් ස්වකීය පාලන මධ්‍යස්ථානය ලෙස යාපහුව තෝරාගන්නා ලදී. මේ රජතුමාගේ කාලයේ වන්නි ප්‍රධානිහු ද ඔහුට විරුද්ධව කැරළි ගැසූහ. තව ද, චෝඩගංගදේව හා කාලිංගරායර නමැති දෙමළ හමුදාවෝ බුවනෙකබාහුගේ රාජ්‍ය ආක්‍රමණය කළහ. බුවනෙකබාහු රජු මෙම ආක්‍රමණ සියල්ල මෙල්ල කළේය. ක්‍රි.ව. 1284 දී පමණ රජතුමාගේ මරණය සිදු වූ බව හෙළි වෙයි.

මෙතුමාගේ මරණින් පසු රටේ සාගතයක් ඇති වූ බවත්, රාජ්‍ය අනුප්‍රාප්තිය පිළිබඳ අරගල පැවති බවත් හෙළි වේ. මේ කාලයේ ආර්ය චක්‍රවර්ති නම් ඇමති යාපහුව ආක්‍රමණය කර දන්ත ධාතුව හා පාත්‍රධාතුව රැගෙන දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය රජු වන කුලසේකරයට බාරදුන් බව චූලවංශයෙහි සඳහන් වෙයි.


මෙයින් පසු සිව්වන විජයබාහුගේ පුත් තුන්වන පරාක්‍රමබාහු කුමරා පාණ්ඩ්‍ය දේශයට ගොස් කුලසේකර රජතුමා සමඟ සාකච්ඡා කොට දන්ත ධාතුව හා පාත්‍රාධාතුව යළි ලබාගෙන ක්‍රි.ව. 1287 දී පොළොන්නරුවේ දී තෙවන පරාක්‍රමබාහු නමින් රජ වී තිබේ. දෙවන බුවනෙකබාහු විසින් තුන්වන පරාක්‍රමබාහු පරාජයට පත්කර, දන්ත ධාතුව සහ පාත්‍රාධාතුව පරාක්‍රමබාහුගෙන් පැහැරගෙන ක්‍රි.ව. 1292 දී යාපහුවේ රජ වූ බව සඳහන් වේ. මොහු යාපහුවේ අවුරුදු හතරක් ද, කුරුණෑගල අගනුවර කරගෙන අවුරුදු දෙකක් ද රජකළ බව හෙළි වෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017