කාලිංග මාඝගේ ආක්‍රමණය හා චන්ද්‍රබානුගේ දෙවන ආක්‍රමණය
 

දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ 20 වන රාජ වර්ෂයේ දී (ක්‍රි.ව. 1225) කාලිංග මාඝ පරාජය කොට පලවා හැරිය බව ආචාර්ය සෙනරත් පරණවිතානගේ මතයයි. මාඝට එරෙහි ව පරාක්‍රමබාහු රජතුමා අනුගමනය කළ යුද්ධෝපක්‍රම හෝ සටන් මෙහෙය වූ සෙනෙවියන් කවරහුද පිළිබඳ වංශකථාවල පැහැදිලිව නො දැක්වෙයි. චූලවංශයේ හා පූජාවලියේ සඳහන් වන්නේ මාඝ අන්ත පරාජයකට පත් කර ඔහු සතු සියලු වස්තුව සහ අන්තඃපුර ස්ත්‍රීන් ද පැහැර ගත් බවයි. පූජාවලියෙහි මාඝ පරාජය කිරීමේ පුවත දක්වා ඇත්තේ මෙසේය. "සිංහල මහ සෙනඟට හසුව, සම්පන්තිය ද පාවා දී ජීවිතය ද දී මුලොච්ඡින්න ව හිස දී රජුහගේ චිත්තාර්ථය සාධා දුන්හ"

චන්ද්‍රබානුගේ දෙවන ආක්‍රමණය

මොහුගේ ප්‍රථම ආක්‍රමණයට වඩා ඉතා සූදානමකින් සිදු වී ඇති ආකාරය චූලවංශයේ සඳහන් වන්නේ මෙසේය. "එකල මහා යුද්ධ කොට පලා ගිය චන්ද්‍රබානු රජ පාණ්ඩ්‍ය චෝල ආදී රටවලින් බොහෝ දමිළ යෝධයන් රැස් කොට බලසම්පන්න ව ජාවක සේනාව කැටුව මාවටු තොටින් ගොඩ බැස්සේය" මෙසේ බලවත් සේනාවක් කැටුව යාපහුවට ළඟා වූ චන්ද්‍රබානු, දන්ත ධාතුව හා පාත්‍ර ධාතුව ලබා දෙන ලෙසත්, පරාක්‍රමබාහුගෙන් ඉල්ලා තිබෙන අතර ත්‍රිසිංහලය ද අල්ලා ගන්නා බවටත් තර්ජනය කර ඇත. මේ අවස්ථාවේ සටන් බිමට ගිය වීරබාහු හා ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන විජයබාහු විසින් චන්ද්‍රබානු පරාජය පත් කොට ඔහු සතු සියලු වස්තු පැහැරගෙන පරාක්‍රම රජුවෙත යැවූ බව කියැවේ. චන්ද්‍රබානු ජීවිතක්ෂයට පත් වූ බව චූලවංශයෙහි සඳහන් වී නැතත් හත්ථවනගල්ල විහාර වංශයේ එන තොරතුරුවලට අනුව ඔහු මිය ගිය බව හෙළිවෙයි.

මේ ආකාරයෙන් විමසා බලන විට දෙවන පරාක්‍රමබාහු රජතුමාගේ සේවාවන් රාශියක් ඓතිහාසික මූලාශ්‍රය ඇසුරෙන් හෙළිවෙයි. කාලිංග මාඝ පොළොන්නරුවෙන් නෙරපා වැරීම, චන්ද්‍රබානු නමැති ජාවක රජුගේ ආක්‍රමණ දෙකම පරාජය කිරීම, පොළොන්නරුවා හා අනුරාධපුරය යන නගරවල ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම, බෙලිගල සඟවා තිබූ දළඳා වහන්සේ දඹදෙණියේ මාලිගයක් තනවා තැම්පත් කිරීම, භික්ෂූන්ගේ විනය පිළිබඳ දඹදෙණි කතිකාවත කරවීම, දාස්තොට දී උපසම්පදා උත්සව පැවැත්වීම, විදේශ රටවලින් ධර්මධර හා විනයධර භික්ෂූන් ගෙන්වා ගැනීම වැනි වැදගත් කාර්යයන් රැසක් ඉටුකොට තිබේ.

"කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත" යන විරුද නාමයෙන් උපහාර ලැබූ දෙවන පරාක්‍රමබාහු රජතුමා භාෂා ශාස්ත්‍ර, ආගම ධර්මය පිළිබඳ මනා දැනුමෙන් යුතු වූ පඬිවරයෙක් ද විය. මහා කාව්‍යයක් ලෙස සැලකෙන කව්සිළුමිණ ද, විශුද්ධිමාර්ග සන්නය ද මෙතුමාගේ මහැඟි කෘති දෙකකි.
(c) Shilpa Sayura Foundation 2006-2017