දඹදෙණිය රාජධානිය - ක්‍රි.ව. 1232-1270
 

තෙවන විජයබාහු (ක්‍රි.ව. 1232-1236)

මායා රටේ (මහාරට්ඨ ප්‍රදේශය) අධිපතියා බවට පත් වූ තුන්වන විජයබාහු ප්‍රාදේශීය නායකයෙක් විය. තුන්වන විජයබාහු විසින් අවට ප්‍රදේශයේ උස කඳුගැටයක් වන ජම්බුද්‍රෝණි හෙවත් දඹදෙණිය පළමු වරට අගනගරය බවට පත්කර ගන්නා ලදී. මායා රටේ විජයබාහු රජුගේ ආධිපත්‍ය තහවුරු කරගැනීමට විශේෂයෙන් තුඩුදුන්නේ දන්ත ධාතුව හා පාත්‍රධාතුව ඔහු සතු කරගැනීමට සමත් වීමයි.

රජරට කාලිංග මාඝගේ විනාශකාරී ක්‍රියා නිසා පොළොන්නරුවේ තැම්පත් කර තිබූ දන්ත ධාතුව හා පාත්‍රධාතුව වාචිස්සර හිමියන් ප්‍රමුඛ සමකාලීන මහතෙරුන් වහන්සේලා ආරක්ෂාව පතා කොත්මලයට ගෙන ගියහ. මෙම දන්ත ධාතුව හා පාත්‍රධාතුව කොත්මලේ පොළොව යට වළ දමා උන්වහන්සේලා ආරක්ෂාව පතා චෝළ හා පාණ්ඩ්‍ය දේශයට පලා ගිය බව පූජාවලියෙහි සඳහන් වේ.

කොත්මලේ සඟවා තිබූ දන්ත ධාතුව තුන්වන බුවනකබාහු විසින් දඹදෙණියට ගෙනවිත්, එහි දළඳා මැදුරක් ඉඳි නොකොට කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල කඳුමුදුනේ දළඳා මැදුරක් ඉඳිකර එහි තැම්පත් කළ බවත් චූලවංශය හෙළි කරයි. පූජාවලියෙහි ද මෙම පුවත සඳහන් වී ඇත. තව ද රැකවරණය පතා පරතෙරට ගිය මහතෙරුන් වහන්සේලා නැවත දිවයිනට ගෙන්වා ගත් බවත් වංශකථාවෙන් හෙළිවෙයි. මේ හේතුව නිසා ගිහි පැවිදි දෙපක්ෂයේ ම සහාය සහ ගෞරවය විජයබාහුට ලැබුණ බවත්, සිංහාසන උරුමය තහවුරු වූ බවත් පිළිගැනෙයි.

තෙවන විජයබාහු,බෞද්ධාගම නගා සිටුවීමට ගත් පියවර රාශියක් හඳුනාගත හැකිය. කැලණි විහාරය ඇතුළු වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම, අභිනවයෙන් වත්තල විජයබාහු විහාරය කරවීම, දඹදෙණියේ විජයසුන්දරාරාමය ඉඳිකිරීම, භික්ෂු සමාජයේ සමගිය හා එක්සත්කම සඳහා සංශෝධනයක් කරවීම, බෙලිගල දළඳා මැදුරක් ඉඳිකිරීම, පැරණි පොත පත නැවත ලියවීම, ආදී සේවාවන් රැසක් මෙම රජතුමා ඉටු කළේය. එනිසා ම මුළු මහත් බෞද්ධ ජනතාවගේ හා මහා සංඝයා වහන්සේලාගේත් මේ රජතුමා අපිරිමිත ප්‍රශංසාවට ලක්වීමට හේතුවන්නට ඇතැයි පෙන්වා දිය හැකිය.
(c) Shilpa Sayura Foundation 2006-2017