ක්‍රි.ව. 1215 දී කාලිංගමාඝ රජරට ආක්‍රමණය කර පොළොන්නරුව අගනුවර කොට ගෙන එහි පාලකයා විය. මාඝ රජරට ආක්‍රමණය කොට එහි පාලකයා වූ පරාක්‍රම පාණ්ඩ්‍ය අල්ලාගෙන ඇස් උගුල්ලුවා, වස්තුව පැහැරගත් ආකාරය චූලවංශය මෙසේ දක්වයි. "කළිඟු කුල පහළ වූ මාඝ නම් නොදැහැමි රජෙක් සූවිසි දහසක් යෝධයනට අධිපති ව කළිඟු රටින් බැස ලක්දිව අල්ලා ගත්තේය."
මාඝගේ පීඩාකාරී අති බිහිසුණු මර්දනකාරී ක්‍රෑර ක්‍රියා කලාපය චූලවංශකරු ඉදිරිපත් කර ඇත්තේ මෙසේය. "ඔහුගේ ලෝවැසියන් පෙලන කුරිරු මහා යෝධයෝ 'අපි කේරළ යෝධයෝ වම්හ'යි වහසි බස් කියමින්, මිනිසුන්ගේ සළු දලඳනා කොල්ලකෑහ. අත් පා සිඳලූහ. ඔවුන්ගේ ගෙවල් බොහොමයක් බ්ඳලූහ. චෛත්‍ය බොහොමයක් වැනසූහ. විහාරවල පදිංචි වූහ"
මාඝගේ අනුගාමියින් කරන ලද අතිබිහිසුණු වද බන්ධන චූලවංශයේ තවදුරටත් විවරණය කර ඇත්තේ "එවක රජකල පරාක්‍රම පණ්ඩ්‍ය රජු අල්ලාගෙන ඇස් උගුලුවා දමන ලදී. පොළොන්නරුවට පහර දී ඒ අගනුවර මාඝ අභිෂේක කළේය" පොළොන්නරුව පාලනය කරන කාලයේ එහි පැවැති සමාජ සංවිධාන අවුල් කර වෙහෙර විහාර ආගමික සිද්ධස්ථාන පමණක් නොව සාහිත්‍ය පොත්පත් පවා ඔහු විසින් විනාශ කළ ආකාරය චූලවංශයේ තවදුරටත් මෙසේ කියයි. "සිංහලයින් සතු වූ ගම්, කෙත්, ගේ දොර, ආරාම, දාස, ගව, මහීෂාදී සියල්ල කේරළයන්ට දුන්නේය. විහාර හා පිරිවෙන් ද බොහෝ ආයතනයන් ද කවර හෝ යෝධයකු ගේ වාසස්ථානය පිණිස නියම කළේය."
මේ ආකාරයට චූලවංශකරුවා මාඝගේ හා ඔහුගේ සොල්දාදුවන්ගේ ක්‍රෑර ක්‍රියා කලාපය හා පාපිෂ්ඨ ක්‍රියා විවරණය කරයි. විහාර සන්නතක ධනය කොල්ලකා එම ආරාම ඔහුගේ අනුගාමිකයින් උදෙසා ලබා දී ඇත. මෙසේ භීෂණකාරි තත්ත්වයක් රටතුළ උද්ගත වෙද්දී, මායා රටේ සහ රුහුණ රටේ සීමා සහිත ප්‍රදේශයක පාලන බලය ප්‍රාදේශීය පාලකයින් කිහිපදෙනෙක් නතුකරගෙන සිටි ආකාරය චූලවංශය කියයි.
