පොළොන්නරු රාජධානියේ පරිහානිය
 

නිශ්ශංකමල්ල රජතුමාගෙන් පසුව පොළොන්නරු රාජධානිය පරිහානිය කරා ළඟා විය. මෙයට බලපෑ හේතු රාශියක් හඳුනාගත හැකිය. එනම්,

* බලවත් පාලකයින් බිහි නොවීම.

* දුබල පාලකයින් බලයට පත්වීම.

* දේශපාලනික වශයෙන් අභ්‍යන්තර අවුල් ඇතිවීම.

* කාලිංග හා පාණ්ඩ්‍ය වංශික ගැටුම.

* මහාපරාක්‍රමබාහු රජුගේ විදේශ ප්‍රතිපත්තිය.

* වසංගත රෝග පැතිරීම.

* ආර්ථික පරිහානිය.

* විදේශීක ආක්‍රමණ.

මෙම සාධක අතර පොළොන්නරු රාජධානිය බිඳ වැටීමට ආසන්නම හේතුව ක්‍රි.ව. 1215 දී කාලිංග මාඝ ගේ ආක්‍රමණයයි.


ක්‍රි.ව. 1197-1200 දක්වා කාලයෙහි පරාක්‍රමබාහු රජුගේ අගබිසව පාණ්ඩ්‍ය-සිංහල කාන්තාවක් වූ ලීලාවතී රැජින සිංහාසනය ලබා තෙවසරක් රට පාලනය කළාය. ඇයට සිංහාසනය ලබාදුන්නේ කිත්ති සේනාපති ය. ඇයගේ පාලන සමයේ චෝල ආක්‍රමණ තුනක් එල්ල වූ බවත්, එම ආක්‍රමණ තුනෙහි දීම කිත්ති සෙනෙවියා චෝළ ආක්‍රමණ මැඬ සොළීන් පළවාහැරිය බවත් සිංහල මූලාශ්‍ර කෘතිවල සඳහන් වේ.


ධම්මාශෝක රජුගේ රාජ්‍ය කාලයේ අනිකංග නැමැත්තා විසින් චෝළ හමුදාවක් සමඟ පැමිණ ධම්මාශෝක රජු ඝාතනය කළ බව සඳහන් වේ. ඔහු රාජ්‍ය පැහැරගෙන දින තුනකට පසුව චමුනක්ක සෙනෙවියා අනිකංග ඝාතනය කොට දෙවන වරට ලීලාවතී රැජිනට සිහසුන ලබාදුන් බව හෙළි වේ. නැවත වාරයක් කාලිංග කුමරකු වූ ලෝකේශ්වර නැමැත්තා විසින් ලීලාවතී රැජින නෙරපා හැර මාස නවයක් රජකම් කළ බවත්, පරාක්‍රම සෙනෙවියා විසින් ලෝකේශ්වර බලයෙන් පහකර ලීලාවතී රැජින තෙවන වරටත් සිංහාසනයෙහි තැබූ බවත් කියැවේ.


ඇය තෙවන වාරයේ රාජ්‍ය මෙහෙයවන විට දී පාණ්ඩ්‍ය හමුදාවක් රැගෙන මෙහි පැමිණි පරාක්‍රම පණ්ඩු නමැති පාණ්ඩ්‍ය වංශිකයෙක්, ලීලාවතී රැජින නෙරපා සිහසුන ලබාගත්තේය. පරාක්‍රම පණ්ඩු ක්‍රි.ව. 1212-1225 දක්වා පොළොන්නරුවෙහි රාජ්‍ය කළ වකවානුවේ, පොළොන්නරු රාජධානිය බිආවැටීමට බලපෑ දරුණුතම ආක්‍රමණය සිදුවී ඇත. එනම් ක්‍රි.ව. 1215 දී කාලිංග මාඝ ගේ ආක්‍රමණය යි.
(c) Shilpa Sayura Foundation 2006-2017