ශ්‍රී ලංකාවේ දේශපාලන බලය වර්ධනය වීම දිගුකාලයක් තිස්සේ සිදුවෙමින් තිබූ සමාජ-ආර්ථික ක්‍රියාවලියකින් සිදුවූවකි. විශේෂයෙන් ම ක්‍රි.පූ. පළමුවන සියවසේ අගභාගය වන විට ඉන්දියන් සාගරයේ ක්‍රියාත්මක වෙමින් පැවති අන්තර්ජාතික වෙළෙඳ කටයුතු වලින් නියමිත ප්‍රතිලාභ හිමිකර ගැනීමට නම් බෙදී ගිය පාලනයකට වඩා කාර්යක්ෂම වන්නේ ඒකීය රාජ්‍ය පාලනයක් (මධ්‍යගත පාලනයක්) බව අවබෝධ කරගත් පාලකයෝ ඒ සඳහා කටයුතු සම්පාදනය කළහ.
මෙරට දේශපාලන බලය වර්ධනය වීමට සමාන්තරව පාලකයින් අනුගමනය කළ ප්‍රතිපත්ති සහ ඔවුන්ගේ දායකත්වය පිළිබඳ රජවරු කිහිපදෙනෙකු ඇසුරෙන් සාකච්ඡා කරමු.
දුටුගැමුණු රජතුමා
ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව දුටුගැමුණු රජතුමා මෙරට දේශපාලන බලය නිසි අයුරින් සංවිධානය කිරීමට ඉතා වැදගත් මෙහෙයක් ඉටුකළ පාලකයෙකි. එතුමාගේ කාලය වන විට ශීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබූ ඉන්දියානු සාගරයේ වෙළෙඳ කටයුතු නිසා සරු ආදායමක් ඉපයිය හැකි මාතොට අන්තර්ජාතික වරාය එවක අනුරාධපුරයේ බලයේ සිටි එළාර නම් පාලකයාගෙන් මුදාගෙන රට එක්සේසත් කිරීමට සමත් විය.පරාජයට පත් තම ප්‍රතිමල්වයාගේ සොහොනට නිසි ගෞරවාචාර දැක්වීමට අණ කිරීමෙන් සිය රාජතාන්ත්‍රික බව පළ කිරීමට එතුමා කටයුතු කළේය.
තම පියා වූ කාවන්තිස්ස මහරජුගේ අවවාද-අනුශාසනා සහ සැලසුම් අනුව කටයුතු කරමින් ක්‍රියාකළ දුටුගැමුණු කුමරු මෙරට දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයකි.
ඉතිහාසයේ ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරයට නායකත්වය දෙමින් "මෙය තම රජසැප පිණිස නොව බෞද්ධ ශාසනයේ යහපත උදෙසා" බව පවසමින් එළාර රජු පරදා රට වෙනුවෙන් පොදු අරමුණකින් දේශපාලන ක්‍රියාවලියකට එළැඹිණ.
ඒ වන විටත් විමධ්‍යගතව පැවති ප්‍රාදේශික බලය හිමිකර ගෙන සිටි පරුමකවරුන් ඒකාබද්ධ කරගැනීමට දුටුගැමුණු රජු සමත් වීම මෙරට දේශපාලන බලය වර්ධනය වීමේ ක්‍රියාවලියට දැක්වූ වැදගත් ම දායකත්වයයි.
අවසානයේ රටේ මහරජු ලෙස අභිෂේක ලැබූ එතුමාට මහත් බලයක් හිමිවිය. එහෙත් කෙතරම් බලසම්පන්න වුව ද පාලකයා ලෙස තමාගේ වගකීම ජනතාවගේ සුභසිද්ධිය සැලසීම බව වටහා ගැනීමට එතුමා සමත් වූ බව ජනතාව වෙත දැක් වූ සහනශීලී ආකල්පය මගින් පිළිබිඹු වේ.
රුවන්වැලි සෑය ඉදිකරන ලාකය තුළ සතර දොරටුවේ දන්සැල් පැවැත්වීමත්, ස්තූපය ඉඳිකිරීමට සහභාගි වන සියලු දෙනාට වැටුප් ගෙවීමට නියම කිරීමත් ඊට නිදසුනකි.
දුටුගැමුණු රජතුමා අගය කළ යුත්තේ මෙරට බුදුදහම වෙනුවෙන් කළ සේවය නිසා පමණක් නොව, විමධ්‍යගතව පැවති දේශපාලන බලය වඩාත් ශක්තිමත් පදනමක සංවිධානය කිරීම ද ඒ රජතුමාගේ ඉස්මතු වී පෙනෙන තවත් විශේෂ ලක්ෂණයකි.
වසභ රජතුමා
* රටේ අභ්‍යන්තර පාලනය විධිමත් ලෙස සංවිධානය කිරීමට එතුමා අනුගමනය කළ ක්‍රියාපිළිවෙත ආදර්ශමත් ය.
* එතුමා විසින් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පිහිටුවන ලද සෙල්ලිපි විශාල ප්‍රමාණයක් තිබේ.
* ඒවායේ තොරතුරු වලට අනුව වසභ රජු මෙරට පළාත් බෙදා පරිපාලනය විධිමත් කිරීමට උත්සාහ කළේය.
එමෙන් ම රජයේ බදු අය කිරීම වඩාත් ක්‍රමවත් වූයේ ද ඔහුගේ පාලන කාලයේ බව එතුමා පිහිට වූ සෙල්ලිපිවලින් පැහැදිලි වේ.
මෙවැනි කටයුත්තකට හිටිවන ම නැඹුරු වූයේ දකුණු ඉන්දියාවේ ක්‍රිෂ්ණ ගංගා නිම්නයේ ඇති වූ ආහාර හිඟයක් හේතුවෙන් මෙරට නිපදවන ධාන්‍ය සඳහා විශාල ඉල්ලුමක් ඇති වීමයි. වහා නව ජලාශ ඉදි කිරීමට රජයේ මුදල් වැය කිරීමට එතුමා ගත් තීරණය එවක පැන නැගුණු අන්තර්ජාතික කලාපීය අවශ්‍යතාවකට මුහුණ දීම සඳහා ගත් සාධනීය වූත් දුරදක්නා වූත් තීරණයකි.
මෙතුමා බොද්ධ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණට ක්‍රියා කළ ආකාරය අන් කිසිදු පාලකයෙකුට නොදෙවෙනි ය. බෞද්ධ විහාරවල දිරූ තැන් අළුත්වැඩියාවටත්, භික්ෂූන් වහන්සේලාගේ සිව්පස සපයා ගැනීමටත් විහාරවලට ලබාදුන් දීමනා සඳහන් සෙල්ලිපි රාශියක් තිබේ.
රටේ දේශීය ආදායම වැඩි කර ගැනීමට අවශ්‍ය කරන පදනම සකස් කොට ඒ ලැබෙන ආදායම භාවිත කර රටේ වාරිමාර්ග දියුණු කිරීමටත් එමගින් රටේ ජනතාවගේ ජීවිතය හයපත් කිරීමටත් වසභ රජතුමා ගත් තීරණ ආදර්ශමත් ය.
පළමුවන විජයබාහු
කුඩා කාලයේ දී කීර්ති නමින් හැඳින්වූ මෙතුමා රුහුණු ප්‍රදේශයට ගොස් එහි හැඳී වැඩිණි. කීර්ති කුමරුන්ටත් ඔහුගේ දෙමව්පියන් ඇතුළු රාජකීය පවුලටත් එහි දී රැකවරණය සැපයූයේ රුහුණේ වාසය කළ රජයේ නිලධාරියෙකි. ඔහු නමින් සිත්නාරුබිම බුදල් නා වේ. ඔහු ආරක්ෂක නිලධාරියෙකි. බුදල් නා, රාජකීය පවුලට ලබාදුන් රැකවරණයේ ස්වභාවය පිළිබඳ කදිම විස්තරයක් පළමුවන විජයබාහු රජතුමාගේ අණින් කළ පනාකඩුව තඹ සන්නසේ ඇතුළත් ය.
බලවත් චෝල පාලකයින් ට විරුද්ධව කටයුතු කිරීමට මෙතුමා ගත් සියලු පියවර රටේ සමස්ත භූමියේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම උදෙසා අනුගමනය කළ සාධනීය පිළිවෙතකි.
රටක භූමියේ නිදහස සහ අඛණ්ඩතාව යන සංකල්ප හඳුන්වනු ලබන්නේ භෞමික අඛණ්ඩතාව යන නමිනි. කිසියම් පාලකයෙකු, රටක භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම ඔහු විසින් රටවැසියන් වෙනුවෙන් ඉටු කළ යුතුව තිබෙන ප්‍රධාන වගකීමකි.
සටන් ව්‍යාපාරයක් මඟින් චෝළ පාලකයින් පරදා රට නැවතත් එක් සේසත් කළ විජයබාහු රජතුමා අනතුරුව රට සංවර්ධනය කිරීමට මහත් වෙහෙසක් දැරීය.
චෝළ පාලන සමයේ නිසි නඩත්තුවක් නොවූ බෞද්ධ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීමට එතුමා කටයුතු කළේ ය. රටේ ආර්ථිකය සවිමත් කිරීමට ඉතා වැදගත් පියවරක් අනුගමනය කළේය. ඒ අනුරාධපුරය වෙනුවට පොළොන්නරුව සිය පාලන මධ්‍යස්ථානය බවට පත් කර ගැනීමයි.
මෙතුමා මෙවැනි පියවරක් අනුගමනය කළේ එතෙක් ඉන්දියානු සාගරයේ බටහිර ප්‍රදේශ මූලික කොට පැවති අන්තර්ජාතික වෙළෙඳාම නැගෙනහිර ඉන්දියානු සාගර කලාපයට මාරු වීම නිසාය. එම පරිවර්තනය ශ්‍රී ලංකාවට වඩා වැදගත් වන්නේ ඉන්දියානු සාගරයේ නැගෙනහිර කොටස සමඟ පහසුවෙන් සම්බන්ධතා පැවැත්විය හැකි ආකාරයට පරිපාලනය සංවිධානය කර ගැනීමයි.
පොළොන්නරුව පාලන මධ්‍යස්ථානය ලෙස තෝරාගැනීමට බලපෑ එක් හේතුවක් වන්නේ ගෝකණ්ණතිත්ථ යනුවෙන් එකල හැඳින්වූ වර්තමාන ත්‍රිකුණාමල වරාය ඉන්දියානු සාගරයේ නැගෙනහිර දෙසට මුහුණ ලා පිහිටා තිබීමත් එම වරායේ වෙළෙඳ කටයුතු පාලනය කිරීමට වඩා පහසු වන්නේ පෝළෝන්නරුවේ සිට බව පාලකයින් වටහා ගැනීම ය.
පළමුවන විජයබාහු රජතුමා පාලකයකු වශයෙන් ක්‍රීයා කළ ආකාරය පොළොන්නරු යුගයේ ඉතිහාසය කෙරෙහි මහත් බලපෑමක් ඇති කළේ ය. පසුකලෙක යුරෝපීය ජාතීන් මෙරටට බලපෑම් එල්ල කරන තුරු ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා වූයේ එකල රජවරුන්ගේ බුද්ධි මහිමයේ සහ ප්‍රතාපවත් අදහස්වල ප්‍රතිඵලයක් වශයෙනි.
