දේශපාලන බලය මධ්‍යගත වීමේ දී පහළ වන මහරජු ඉතා බලවත් පුද්ගලයෙකි. ඔහු ජනතාව ඉදිරියේ පෙනී සිටීමට වෑයම් කර තිබෙන්නේ බලසම්පන්න ස්වරූපයකිනි. රට ආර්ථුක වශයෙන් දියුණු කිරීම, රටවැසියාට ආරක්ෂාව සැපයීම, රටවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනය ආදිය රටවැසියාට තමාගෙන් ඉටුවිය යුතු යුතුකම් ලෙස පාලකයෝ කල්පනා කළහ.
රජවරුන්ගේ ක්‍රියාකලාපය සහ පෙනී සිටීමට උත්සාහ කළ ස්වරූපය අනුව රාජ්‍යත්වය පිළිබඳ විවිධ සංකල්ප ගොඩනැගී ඇත. ඒ අනුව දේවත්ව, බෝධිසත්ව, පර්වතරාජ, වීරත්ව සහ චක්‍රවර්තී වැනි සංකල්ප රජවරුන්ට ආරෝපණය විය.
පාලනය කිරීමේ දී රජු දෙවියකු ලෙස හෝ බෝධිසත්වයකු ලෙස හෝ පෙනී සිටීම සුලභව දැකිය හැකිය. දඹුලු විහාරයේ පර්වතයක අැති සෙල්ලිපිය පිහිට වූ කුටකණ්ණ අභය රජතුමා එහි තමන් හඳුන්වා දී තිබෙන්නේ නරේශ්වර (නරඉසෙර) යන නමිනි. එහි තේරුම නරයින්ට ඊශ්වර දෙවියන් යන්නයි.
මහසෙන් රජතුමා වැව් අමුණු තනවා ආර්ථිකයට කළ මෙහෙය නිසා එතුමා මින්නේරිය දෙවියන් ලෙස පූජනීයත්වයට ලක් විය. පළමුවන කාශ්‍යප රජු කුවේර ලෙස පෙනී සිටියේ ය. එරජු හැඳින්වීමට සෙල්ලිපියක 'අලකපය මහරජ' යන යෙදුම භාවිත කර තිබේ. එයින් අදහස් වන්නේ ආලකමන්දාධිපති මහරජු යන්න යි. ආලකමන්දාව යනු ධනයට අධිපති ලෙස සැලකෙන කුවේරගේ වාසභවන යි. ආලකමන්දාව යනු පර්වතයක් බව සාහිත්‍ය මූලාශ්‍රයවල සඳහන් වෙයි. පර්වතරාජ යන සංකල්පයෙන් පෙනී සිටීම පැරණි යුගයේ ආසියාවේ පාලකයෝ අනුගමනය කළ පිළිවෙතකි.
රජු බෝධිසත්වයකු ලෙස පෙනී සිටීම ද මීට අදාළ තවත් ආකාරයකි. රජු සිය ජනතාවගේ හිතසුව පිණිස සාධාරණ යුක්තිගරුක දැහැමි පාලනයක් පවත්වා ගෙන යාමට වගකීමෙන් බැඳී සිටින බව එයින් පෙන්නුම් කළ අතර එවත් අතකින් ජනතාව රජු කෙරෙහි විශ්වාසය හා ගෞරවය දැක්විය යුතු ආකාරයත් එයින් පිළිබිඹු කෙරිණි.
මෙරට රජවරුන්ගේ තවත් අදහසක් වූයේ චක්‍රවර්තී සංකල්පයයි. සමස්ත ලෝකයටම අධිපති යන තේරුම මෙහි ගැබ් වෙයි. සංස්කෘත භාෂාවට අයත් එම පදය සිංහල භාෂාවේ දී සක්විති යන අර්ථය ගෙන දෙයි. ක්‍රි.ව. 9-10 සියවස්වල දී මෙරට ඇතැම් පාලකයෝ මෙම යෙදුම සිය අනන්‍යතාව පිළිබිඹු කිරීමට යොදා ගත්හ.
විශේෂයෙන් නිශ්ශංකමල්ල රජතුමා සිය සෙල්ල්පිවල තමන් හඳුන්වා ගැනීමට කාලිංග චක්‍රවර්තී ස්වාමීන් වහන්සේ යන පදය භාවිත කළේය.
රාජ්‍යත්වය පිළිබඳ විවිධ ව්‍යවහාර දක්නට තිබුණ ද ඒ සෑම සංකල්පයක් ම රජුගේ උසස් බව හැඟවීමට භාවිත කළ ඒවා ය. පාලකයා වටා එවැනි උතුම් බවක් නිර්මාණය වීමේ දී පාලකයාආදර්ශවත් වීම ජනතාවගේ බලාපොරොත්තුව විය. ඉන් එසේ ක්‍රියා කිරීමට පාලකයාට ද බලපෑමක් ඇති වීම සිවභාවිකය. ධාර්මික රාජ්‍ය පාලනයකට අවශ්‍ය සංකල්පීය පදනම නිර්මාණය වූයේ එලෙස ය.
