රාජ්‍යත්වයේ වර්ධනය යනු විකේන්ද්‍රගතව තිබූ බලය විමධ්‍යගත වීමයි. දේශපාලන බලය මධ්‍යගත වීම යනු රට එක්සේසත් කිරීම යන අදහසට සමාන වේ. මින් අදහස් වන්නේ බලය එක් පුද්ගලයෙකුගේ අණසක යටතට පත් වීමයි. බලය මධ්‍යගත වීමෙන් රාජ්‍යය යන යාන්ත්‍රණය නිර්මාණය වේ. එහි පාලන ප්‍රධානියා රජු වන අතර ඔහුගේ පාලනයට යටත් වූ නිශ්චිත භූමි ප්‍රදේශයක් සකස් වේ.
ඓතිහාසික මූලාශ්‍රයවලට අනුව මෙරට පාලනය කළ ප්‍රථම රජු පණ්ඩුකාභය යි. මහාවංශයේ සඳහන් පරිදි ඒ රජු,
1. ප්‍රාදේශීය පාලකයින් කිහිපදෙනෙකු (මාමාවරුන්) හා සටන් කර ඒ ප්‍රදේශ අත්පත් කර ගනිමින් රජ බවට පත්විය.
2. සිය පාලන මධ්‍යස්ථානය ලෙස අනුරාධපුරය තොරා ගෙන අනුරාධපුරය ගොඩ නැගීය.
3. තමන්ගේ දසවෙනි රාජ වර්ෂයේ දී දිවයිනේ ග්‍රාම සීමා සටහන් කිරීම සිදු කළේය.
විමධ්‍යගතව පැවති ශ්‍රී ලංකාවේ දේශපාලන බලය එක් නිශ්චිත පුද්ගලයකු වෙත යොමු වීමේ ක්‍රියාවලියේ තවත් එක් නියමුවෙකු ලෙස දුටුගැමුණු රජු හඳුන්වා දිය හැකිය. එතුමා එවක සිටි පරුමකවරුන්ගේ සහයෝගය ලබාගත්තේය. දුටුගැමුණු රජ සමයට අයත් සෙල්ලිපිවල මෙයට නිදසුන් දක්වයි.
දුටුගැමුණු රජුගේ වැඩකටයුතු වලට සහභාගි වු සෙන්පතිවරු එවැනි තනතුරු ලැබීමට පෙර පරුමකවරුන් ලෙස කටයුතු කළහ. වේළුසුමන, ඵුස්සදේව, ථෙරපුත්තාහය සහ නන්දමිත්‍ර යන සෙන්පතිවරුන් පරුමකයින් ලෙස සෙල්ලිපි වල සඳහන් වේ. එවැනි සෙල්ලිපි කිහිපයක් සිතුල්පව්වේ පිහිටි ගල්ගුහාවල දක්නට ඇත.
දුටුගැමුණු රජු විවිධ දක්ෂතා තිබෙන එවැනි පරුමකවරුන්ගේ සහාය ලබාගෙන එතෙක් විමධ්‍යගතව තිබූ දේශපාලන බලය මධ්‍යගත කළේය. පරුමක තත්ත්වයේ සිටි ප්‍රාදේශීය ප්‍රභූ නායකයෝ පසුව රජයේ විවිධ තනතුරු දරන්නන් බවට පත් වූහ. පරුමක ඵුස්සදේව, පරුමක වේළුසුමන, පරුමක ථෙරපුත්තාභය ආදින් පසුකලෙක සේනාපති පරුමක ඵුස්සදේව, සේනාපති පරුමක වේළුසුමන, සේනාපති පරුමක ථෙරපුත්තාභය වශයෙන් ව්‍යවහාර කරන ආකාරය සමකාලීන සෙල්ලිපිවල දක්නට තිබේ.
එමෙන් ම පරුමක තනතුරු දැරූ භාණ්ඩාගාරකයින්, අයකැමියන්, ගබඩා පාලකවරුන් ගැන ද සෙල්ලිපිවල සඳහන් ය. සාහිත්‍යය මූලාශ්‍රය අනුව ද දිවයින ම එක් සේසත් කළ පළමු පාලකයා දුටුගැමුණු රජතුමා ය.
මෙලෙස පැරණි ශ්‍රී ලංකාවේ දේශපාලන බලය මධ්‍යගත කිරීමට දුටුගැමුණු රජු සාධනීය පියවරක් තැබීය. භාතිකාබය රජු සමයේ ශ්‍රී ලාංකික තානාපතිවරයෙක් රෝමයට ගොස් වීදුරු පබළු රැගෙන ආ බව මූලාශ්‍රයවල සඳහන් ය.
බලය මධ්‍යගත වීම තවදුරටත් සාර්ථක පරිවර්තනයකට පත් කළේ වසභ රජතුමා ය. එතුමාගේ පාලන සමයේ දී ශ්‍රී ලංකාව ම එක් ඒකකයක් ලෙස ක්‍රියාත්මක විය. එතුමා ගේ සෙල්ලිපි මෙරට පුළුල් ප්‍රදේශයක පැතිරී තිබේ.
එමෙන් ම පරිපාලන දිස්ත්‍රික්ක (ආස්ථාන) වෙන් කොට ඒ එක් එක් දිස්ත්‍රික්ක පාලනය කිරීමට ඇමතිවරු පත් කිරීම ද සිදු වූයේ මෙරජුගේ පාලන කාලයේ දී ය. මෙසමයේ දී යාපනය ප්‍රදේශය පාලනය කළේ එතුමා පත්කළ සෘෂිගිරි නම් ඇමතිවරයා බව වල්ලිපුරම් රන්පතේ ලියා තිබේ. ඒ කාලයේ යාපනය හැඳින්වූයේ නාගදීපය යනුවෙනි.
