ග්‍යහපතියෝ සහ ගමිකයෝ
 ගෘහපතියෝ
අවම තරමින් ක්‍රි.පූ. 900 පමණ වන විට මෙරට ග්‍රාමීය ජනාවාස වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල ව්‍යාප්තව තිබුණි. පවුල යන අදහස දීමට පැරණි කාලයේ භාවිත වූයේ කුල ය පදයයි. මේ සෑම පවුලකම ප්‍රධානියා හැඳින්වූයේ 'ගෘහපති' යන නමිනි. ක්‍රි.පූ. 250 සහ ඊට ආසන්න පසුකාලීන සෙල්ලිපිවල ඔවුන් හඳුන්වා ඇත්තේ ගහපති යන වචනයෙනි.

මේ සම්බන්ධ තොරතුරු අනුරාධපුරයේ පෙරියපුලියන්කුලම සෙල්ලිපියේ දක්නට ඇත. සුමනගේ පවුලට අයත්, ලෝහ වැඩ සිය රැකියාව ලෙස කළ ගෘහපතියකු භික්ෂූන් වහන්සේලාගේ සැපපහසුව වෙනුවෙන් ගල්ගුහාවක් පිරිසිදු කොට පූජා කළ බව එහි සඳහන් ය. ගමක පොදු කටයුතු වලදී එක් එක් පවුල නියෝජනය කිරීමට ඉදිරිපත් වූයේ මෙකී ගෘහපතීන් ය. ගෘහපතීන් යනු පවුල් ප්‍රධානීන් ය.

ගමිකයෝ

පැරණි සෙල්ලිපිවල මෙන්ම අටුවාකථාවල ද 'ග්‍රාමික' හෝ 'ගමික' යන නමින් හඳුන්වන පිරිසක් ගැන සඳහන් වේ. ඒ පැරණි ගම්වල ජීවත් වූ ගම් ප්‍රධානීන් ය. පැරණි ගම් පැවතියේ එකිනෙකට වෙන් වෙන්ව යි. ගමක් තව ගමකින් වෙන් වූයේ පටු කැළෑ තීරයකිනි.


මෙසේ වෙන් වී පැවතීම නිසා එක් එක් ගම්වල වැසියන් මෙම වෙන්වීම තේරුම් ගත්තේ අපේ ගම (තමන් විසූ ගම) අල්ලපු ගම (යාබදව පිහිටි ගම) සහ පිටගම් (ඈතින් පිහිටි ගම්) යනාදි වශයෙනි. ගම් අතර පැවති කටයුතු වලදී එනම් ආවාහ-විවාහ කටයුතු, භාණ්ඩ හුවමාරු කර ගැනීම් මෙන් ම ආරවුල් විසඳීම ආදි දේ වල දී එක් එක් ගම් නියෝජනය කිරීමට ක්‍රියා කළ පුද්ගලයා ග්‍රාමික යන නමින් හැඳින්වූ බව පෙනේ. එහි තේරුම ගම් නායකයා යන්න යි.

ගමක් නියෝජනය කිරීමට නායකයකු තෝරා ගත්තේ ගෘහපතීන් අතරිනි. එලෙස තෝරාගැනීමේ දී ගෘහපතීන් සතු වත්පොහොසත්කම ගැන අවධානය යොමුවිය.


කණ්ඩායමක් නිවැරදි ආකාරයට හසුරුවා ගැනීමට නම් එම කණ්ඩායමේ පොදු විශ්වාසය දිනා ගත් අයකු ඊට නායකත්වය ලබා දිය යුතුය. ගමක ගෘහපතීන් සියලු දෙනා එක්ව ගම වෙනුවෙන් තීරණ ගැනීම වෙනුවට ගෘහපතීන්ගේ එකඟතාවෙන් ගමේ ජීවත්වන වඩා ධනවත් හා බලවත් පුද්ගලයා ඒ සඳහා පත්කර ගැනීමට අපේ පුරාණ ගම්වැසියන් කටයුතු කර තිබේ. ගමිකයින් ගෘහපතීන් අතරින් ම පත් වූ කෙනෙකු බව බුද්ධඝෝෂ හිමියන් සමන්තපාසාදිකාවේ සඳහන් කර තිබේ.


ගමිකයන් ඉටු කළ කාර්යයන් අතර ඒ ඒ ගම්වල පෝදු කටයුතුවලට නායකත්වය දීම විශේෂයෙන් වැදගත් විය. ගමට අයත් වැව නඩත්තු කිරීම, ඉන් ජලය බෙදා හැරීම ප්‍රධාන විය.  ගම්වල පැවති ආරවුල් විසඳීම ආදිය ඇතුළු කටයුතුවලට නායකත්වය දීමත් ඔහු සතුව තිබූ ධනවත් බවත් නිසා ඔහු වටා කිසියම් පාලන බලයක් ගොඩ නැගුණු දන්දම පැහැදිලිය.

ඒ ඒ ගම්වල විසූ නායකයින් එකිනෙකා සමඟ සුහදව කටයුතු කිරීම ගම් අතර සාමය සහ සහජීවනය පවත්වා ගැනීමට මහත් සේ ඉවහල් විය. සිතුල්පව්වේ පිහිටි කොරවක්ගල ප්‍රදේශයේ තිබෙන ගල්ගුහාවක මේ කරුණ සනාථ කෙරෙන සාක්ෂියක් තිබේ. එම ගල් ගුහාව පිරිසිදු කොට භික්ෂූන් වහන්සේලාට පූජා කිරීමට පුද්ගලයින් තිදෙනෙකු සහභාගි වී තිබේ. ඒ ගමික සිව, ගමික සුනම සහ ගමික තිදන යි. මොවුන් තිදෙනා අසල්වාසී ගම්වල නායකයින් වන්නට ඇත. මෙවැනි ගම්නායකයින් බිහිවීම මෙරට දේශපාලන බලය වර්ධනය වීමේ වැදගත් තීරණාත්මක අවස්ථාවකි.

මෙරට පැරණි සමාජයේ දේශපාලන බලය වර්ධනයට පරුමක නමින් හැඳින්වූ ප්‍රභූන් පිරිසක් වැදගත් වූහ. එවැනි පැලැන්තියක් බිහි වීම සහ ඔවුන්ට පාලන බලයක් හිමි වීම සිදු වූයේ කෙසේද යන්න සොයා බැලීම වැදගත්ය.


විද්වතුන්ගේ අදහස වී තිබෙන්නේ පරුමකවරුන්ගේ බිහි වීමත්, පුරාණයේ පැවති වැව් නඩත්තු කිරීමත් අතර සබඳතාවක් තිබෙන බවයි.  එය එසේ වූයේ කෙසේද?


ක්‍රි.පූ. 900 දී පමණ මෙරට වියළි කලාපයේ ජනාවාස පැතිර ගියේ කුඩා වැව් කේන්ද්‍ර කරගෙන ය. මේ වැව් පෝෂණය වූයේ වැසි දියෙනි. සාමාන්‍යයෙන් ගමක ජීවත් වූ පවුල් 10-15 කගේ ඉදිනෙදා අවශ්‍යතා පිරිමසා ගැනීමට එවැනි වැව්වල ජලය කෙටි කාලයකට ප්‍රමාණවත් විය. වියළි කාලවල දී මේ වැව් සිඳී ගියේය. එවැනි අවස්ථාවල ගම්වැසියන් මහත් අසීරුතාවලට මුහුණ දුන් බව අදත්, වියළි කලාපයේ වැව් ආශ්‍රිත ජීවත්වන ජනතාව මුහුණ දෙන අත්දැකීම්වලින් පැහැදිලි වේ.


වර්ෂා කාලයේදී කුඩාවැව්වලට පුරවා ගන්නා ජලය ප්‍රමාණවත් නොවීමේ ගැටළුවට මුහුණ දීමට සිදුවූයේ වියළි කාලගුණ තත්ත්වය නිසා පමණක් ම නොවේ. ගම්වල ජනගහනය ඉහළ යාම නිසා පරිභෝජනය ද ඉහළ යෑමෙන් වැඩි ජල ප්‍රමාණයක් අවශ්‍ය විය.


ඉහළ යන ජනගහනයට වැඩියෙන් ආහාර නිපදවීම අවශ්‍ය වූ නිසා වැඩි භූමි ප්‍රමාණයක් වගා කළ යුතු බැවින් ඊට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් රඳවා ගැනීමට අත්‍යවශ්‍ය විය. ඒ අභියෝගයට මුහුණ දීමට සාර්ථක ක්‍රමයක් අනුගමනය කළහ. ඒ තනිව පවතින වැවක් වෙනුවට සමීපව තිබෙන වැව් කිහිපයක් ඇළ මාර්ගවලින් සම්බන්ධ කර වැව් පද්ධතියක් සෑදීමයි.


එහි අරමුණු දෙකක් තිබිණි. පළමුවැන්න භූමියක ඉහළින් පිහිටි වැවක් වැසි දියෙන් පිරුණු විට ඉන් බැහැරට ගලන ජලය  පහළින් ඇති වැවට හරවා ජලට සංරක්ෂණය කිරීමයි. දෙවැන්න වැව් දෙකක් අතර ඇළ මාර්ගයේ නිරන්තරයෙන් ජලය ගලා යාමට සලස්වා එහි දෙපස භූමියේ තෙතමනය ඉහළ දැමීමයි. එම ප්‍රදේශ තුළ පහසුවෙන් බෝග වගා කළ හැකි විය. පුරාණ කාලයේ මෙලෙස සකස් කළ වැව් පද්ධති වියළි කලාපයේ නටඹුන්ව තිබෙන අයුරු අදත් දැකිය හැකිය.


මෙවැනි වැව් පද්ධතියක් හැඳින්වීමට "වැව් ප්‍රපතනය" යන නම භාවිත වේ. වියළි කලාපයේ වැසියන් මෙය "එලලංගාව" නමින් හඳුන්වයි.


ශ්‍රී ලංකාවේ පැරණිතම සෙල්ලිපිවල දැක්වෙන කරණු වලට අනුව එකී ගම්වල විසූ ගමිකයින් අතුරින් වඩා බලවත් තැනැත්තා එක් වැව් පද්ධතියකට අයත් ගම් සියල්ල නියෝජනය කර ඇති බවයි. මොහු හැඳින්වූයේ පරුමක යන නමිනි. වැව් පද්ධතියක් හා ඊට අයත් ගම් කිහිපයක වැසියන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් තීරණ ගැනීමට බලයක් පැවරී තිබුණු නිසා පරුමකයන් එකල සමාජයේ බලවත් ප්‍රභූන් පිරිසක් ලෙස සැලකිණි.


මෙලෙස බිහිවූ පරුමකවරු සිය ගණනක් පිළිබඳ තොරතුරු පැරණි සෙල්ලිපිවල දක්නට තිබේ. පිරිමින් පමණක් නොව ඇතැම් අවස්ථාවල කාන්තාවන් ද ප්‍රාදේශීය පාලනයට හවුල් වී ඇත. එවැනි කාන්තාවන් පරුමකලු නමින් හඳුන්වා තිබේ. සමස්තයක් ලෙස ගත් විට ඒ සියලු දෙනා වියළි කලාපයේ ජනාවාස පැතිරී තිබූ ප්‍රදේශවල කුඩා භූමි ඒකක පාලනය කළ පුද්ගලයන් ය. මේ අනුව ශ්‍රී ලංකාවේ දේශපාලන බලයේ විකාශනය ආරම්භ වූයේ බෙදී ගිය ක්‍රමයක් ලෙසය. විමධ්‍යගත පාලනය ලෙස මෙය හැඳින්විය හැකිය.

මේ ආකාරයට මෙරට ප්‍රාදේශීය පාලනය ගෙන ගිය පරුමකවරුන්ගේ බලය වර්ධනය වෙමින් ඇතැම් අවස්ථාවල ඔවුන් "රජ" යන පදයෙන් තමන්ව හඳුන්වාගෙන තිබේ. මාතලේ දිස්ත්‍රික්කයේ-ඇඹුල්අඹේ ප්‍රදේශයේ පැරණි සෙල්ලිපියක "පොචනි රජ" යනුවෙන් හැඳින් වූ ප්‍රාදේශීය පාලකයකු ගැන සඳහන් වේ. එහි අදහස ප්‍රාචීන රජ හෙවත් නැගෙනහිර ප්‍රදේශයේ රජු යන්නයි. කෑගල්ලේ-යටහලෙන නම් බෞද්ධ විහාරයේ ඇති ගල්ගුහාවක ද "දූහතර රජ" නමින් සඳහන් තවත් එවැනිම ප්‍රාදේශීක පාලකයකු ගැන අසන්නට ලැබේ.

'රජ' යන පදයෙන් සතුටු කරන්නා යන අදහස ලැබේ. ජනතා සුභසිද්ධියට කටයුතු කොට ඔවුන් සතුටුට පත් කරන්නා හැඳින්වීමට රජ යන පදය යොදා තිබේ. පරුමකවරුන් එසේ ක්‍රියා කළ නිසා පසුකලෙක ඔවුන් හැඳින්වීමට එවැනි ව්‍යවහාර භාවිත කර තිබේ. පසුකාලයේ ශ්‍රී ලංකාව පාලනය කළ අභීත රජවරු පරම්පරාවක් බිහිවීමට තුඩුදුන් එහි ආරම්භය සකස් වන්නේ මෙවැනි පසුබිමකය.
(c) Shilpa Sayura Foundation 2006-2017