ලංකා ඉතිහාසයේ රාජ්‍යය යන පදනම වර්ධනය වූයේ තරමක පසුකාලයක දී ය. ඒ පිළිබඳව පාඩමේ ඉදිරි කොටස්වල විස්තර කෙරේ. මෙහි දී අවධානයට ගන්නේ, එසේ රාජ්‍යයක් බිහි වීමට පෙර රට පාලනය කිරීමට අදාළව පැවති ස්වරූපය කුමක්දැයි පැහැදිලි කිරීමය. එම කාලය පූර්ව රාජ්‍ය සමය නමින් හැඳින්වේ.
(රාජ්‍යයක් බිහිවීමට පෙර, රට පාලනය කිරීමට අදාළව පැවති ස්වරූපය 'පූර්ව රාජ්‍ය සමය' නම් වේ.)
පූර්ව රාජ්‍ය සමයේ මෙරට පාලනය කිරීමට එක් නිශ්චිත පාලකයකු සිටියේ නැත. ඒ වෙනුවට කුඩා ප්‍රදේශවල සිය බලය පවත්වා ගෙන ගියේ වත්පොහොසත්කම් ඇති ප්‍රභූන් පිරිසකි. මෙරට සෙල්ලිපි ලිවීම ආරම්භ වූ කාලයේ දී මෙම ප්‍රභූවරු එම සෙල්ලිපිවල හඳුන්වා දී තිබෙන්නේ 'පරුමක' යන නමිනි. පරුමක වචනය සෑදී ඇත්තේ සංස්කෘත භාෂාවේ 'ප්‍රමුඛ' යන පදයෙනි. එහි තේරුම 'ප්‍රධාන' යන්නයි.
පරුමකවරුන්ට කිසියම් ආකාරයක ප්‍රදේශීය පාලන බලයක් හිමිව තිබූ බව දඹුල්ල-කණ්ඩලම ප්‍රදේශයේ කොත්ගල්කන්දේ තිබෙන සෙල්ලිපියක දැක්වේ. එම සෙල්ලිපිය ක්‍රි.පූ. 250 ට අයත් වූවකි. එහි ඇති ගල් ගුහාවක් භික්ෂූන් වහන්සේලා වෙත පූජා කළ පරුමකයෙකු හඳුන්වා ඇත්තේ 'තොට බොජක' නමිනි. එහි තේරුම 'තීර්ථය අනුභව කරන්නා' යන්නයි. තීර්ථය යනුවෙන් හඳුන්වන්නේ තොටුපළ යි. අනුභව කිරීම යනු (පැරණි ව්‍යවහාරය අනුව) අය බදු ලබාගැනීමත් දේපළ භුක්ති විඳිමත් ය.
එසේ කළ හැක්කේ පාලන බලයක් සතු තැනැත්තෙකුට පමණී. කණ්ඩලම සෙල්ලිපියේ දැක්වෙන පරුමකයා පැරණි කාලයේ ඒ ප්‍රදේශ පාලනය කළ තැනැත්තෙකු බව ඉන් පැහැදිලි වේ.
පරුමකයන් පැරණි ලංකා සමාජයේ බිහිවූයේ කුමන ආකාරයකට දැ යි සොයා බැලීමෙන් මෙරට දේශපාලන බලය වර්ධනය ඪු ආකාරය තේරුම් ගත හැකිය. එසේ තේරුම් ගැනීමට නම් පුරාණයේ මෙරට ග්‍රාමීය සමාජය සහ එහි ක්‍රියාකාරිත්වය සුපරික්ෂාකාරීව හැදෑරිය යුතුය.