පැරණි රජවරුන් බොහෝමයක් ද, රැජිනන් කිහිපදෙනෙක් ද මෙරට පාලනය කළ බව ඓතිහාසික මූලාශ්‍රය පෙන්වා දෙයි. ඉන්දියාවෙන් මෙහි පැමිණි විජය කුමරු මෙරට පාලනය කළ පළමුවන රජු ලෙස එම මූලාශ්‍රයවල විස්තර වෙයි. ඔහු මෙරටට පැමිණියේ ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ දී ය.
විජය මෙහි පැමිණීමට පෙර මෙරට ජනාවාස පැවති බව පුරාවිද්‍යාත්මක සාක්ෂි තහවුරු කරයි. ක්‍රි.පූ. 2400 තරම් ඈත කාලයක සිට මෙරට කෘෂිකාර්මික සමාජයක් දියුණු වෙමින් පැවති බව බෙරගල, හල්දුම්මුල්ල ආදි ප්‍රදේශවලින් සොයාගෙන තිබෙන පැරණි සොහොන් බිම්වලින් තහවුරු වී ඇත. එවැනි සමාජයකට අවුල් වියවුල් වලින් තොරව පැවතීමට නම් ඒ සමාජය පාලනය වීමට කිසියම් ක්‍රමයක් තිබිය යුතුය. එහෙයින් මෙරට සමාජයේ දේශපාලන බලය දියුණු වීමේ ඉතිහාසය විජය කුමරුන්ගේ ආගමනයට පෙර වකවානුවට අයත් ය.
රටක් පාලනය කිරීමේ බලය රජුට හෝ රැජිනකට පවරා දෙනු ලබන්නේ එරට වැසියන් විසිනි. කවරෙකුට වුව රටක් පාලනය කිරීමට පොදු මහජනතාවගේ කැමැත්ත අවශ්‍යය ය. වැඩිදෙනෙකුගේ එකඟතාවෙන් පාලකයකු රට පාලනය කිරීමේ අයිතිය ලබා ගන්නා නිසා එවැනි පාලකයකු හැඳින්වීමට 'මහාසම්මත' යන වචනය පෙරදිග රටවල භාවිත කර තිබේ. එසේ ජනසම්මතයෙන් පාලන බලය හිමි කර ගන්නා රජෙකු හෝ රැජිනක් විසින් පාලනය කරන භූමි ප්‍රදේශයත්, එම පාලනයට සහභාගි වන විවිධාකාර නිලධාරි පිරිසත්, ජනතාවත් රාජ්‍යය යන නමින් හැඳින්වේ.
