යැපීම් ක්‍රමය
 

ගංගාවක පිටාර නිම්නයෙන් පිටත ප්‍රදේශවල ජනාවාස ව්‍යාප්ත වීමේ දී ඒවායේ ජීවත් වූ වැසියන් සිය යැපීම් ක්‍රමය ලෙස අනුගමනය කළේ හේන් ගොවිතැනයි. කුරක්කන්, මෙනේරි, තල සහ තණහාල් වැනි කටුසර බෝග ඒවායේ වගා කෙරිණ. කෙටි මුල් පද්ධතියක් සහිත නියඟයට හොඳින් ඔරොත්තු දෙන එම බෝග ජලය හිඟ ප්‍රදේශවල වගා කිරීමට යෝග්‍යය. මූලික ගම්වැව් ඉඳි කිරීමට පෙලඹවීමක් ඇති වන්නේ එකී ජනාවාසවල විසූ ජනගහනය පුළුල් වීමට සමාන්තරව ආහාර නිෂ්පාදනය වැඩි කිරීමට සිදු වූ නිසාය. ගංගා නිම්නවලින් පිටතින් ආරම්භවන මුල් ඓතිහාසික යුගයේ ජනාවාස, ගංගා නිම්නය තුළට අවතීර්ණ වන ආකාරය පිළිබඳ ඉතා පැහැදිලි පිළිබිඹුවක් කිරිඳිඔය නිම්නයේ සිදුකර තිබෙන පැරණි ජනාවාස ආධ්‍යනයකින් පෙන්වා දී තිබේ.

වැදගත් කරුණු

1. ශ්‍රී ලංකාව ජනාවාස වූයේ මීට වසර ලක්ෂ ගණනකට ඉහත දී ය. එලෙස මෙරට මුල් ජනාවාස පිහිටුවා ගත්තේ ආදි කාලීන හොමෝ සාපියන්වරු ය.

2. ආදි කාලීන හොමෝ සාපියන්වරු මෙරට විවිධ පරිසර කලාපවලට හැඩ ගැසෙමින් ජීවත් වූහ. එහෙයින් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඔවුහු වාසය කළහ. ඔවුන් කිසිදු වාර්ගික අනන්‍යතාවක් පිළිබිඹු කළේ නැත.

3. ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන්ගේ සංස්කෘතිය පැවති කාලපරිච්ඡේදය හඳුන්වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය යන නමිනි. ඒ කාලය තුළ ඔවුන්ගේ ප්‍රධාන ජීවන ක්‍රමය වූයේ දඩයම සහ තැන තැන ඇවිද යමින් ආහාර රැස් කිරීම යි.

4. ඒ කාලයේ පැවතියේ ගල් මෙවලම් තාක්ෂණය යි. තමන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා ඔවුන් තිරිවානා, කහඳ ආදි ගල්වලින් මෙවලම් තනා ගැනීමට පුරුදු වී සිටියහ. මෙරට ප්‍රාග් ඉතිහාසය හැඳින්වීමට "මධ්‍ය ශිලා යුගය" යන යෙදුම ද භාවිත වේ.

5. පසු කාලයක මෙරට විසූ ප්‍රාග් ඓතිහාසික මිනිසුන් ගොවිතැනට හුරු වී තිබේ. දැනට ලැබී ඇති සාක්ෂි අනුව එම පරිවර්තනයන් ක්‍රි.පූ. 2400 වන විට සම්පූර්ණත්වයට පත් ව තිබිණි.

6. වළං සෑදීම, සුසාන භූමි භාවිතය සහ යකඩ ලෝහය භාවිත කිරීම පසු කාලයේ දී ආරම්භ විය. මෙම යුගය හැඳින්වෙන්නේ පූර්ව ඓතිහාසික යුගය යන නමිනි.

7. පූර්ව ඓතිහාසික යුගය වැදගත් කාලපරිච්ඡේදයක් වන්නේ ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරික වර්ධනයට අදාළ මූලික දෑ එම යුගයෙන් ආරම්භ වීම නිසා ය. මෙරට මිනිසුන් ගම්මානවල ජීවත් වීම ආරම්භ කළේ මේ සමයේ දී ය.

8. මහාවංසය සඳහන් කරන ආකාරයට විජය කුමරු ඇතුළු පිරිස මෙරටට පැමිණෙන අවධියේ ශ්‍රී ලංකාවේ ඉතා සංවිධානාත්මක සමාජයක් පැවතිණි.
(c) Shilpa Sayura Foundation 2006-2017