ජනාවාස ව්‍යුහය හා ස්වරූපය
 

වැසි ජලයෙන් පෝෂණය වන කුඩා වැව් කේන්ද්‍ර කර ගනිමින් ගංගාවල පිටාර නිම්නයට පිටතින් වන ප්‍රදේශවල ව්‍යාප්ත වූ ජනාවාස එකිනෙකින් ස්වාධීන වූ ඒවා යි. වැවක් කේන්ද්‍ර කොට ගෙන වර්ධනය වූ එවැනි ජනාවාස වාපිගම යනුවෙන් සාහිත්‍ය මූලාශ්‍රවල හඳුන්වා දී තිබේ. මහාවංශයේ සඳහන් සුමනවාපිගාම, විහාරවාපිගම, හුන්දරිවාපිගම, කඩහවාපිගම යන ගම් එවැනි ගම් ය.

එක් ගමක් තවත් ගමකින් වෙන් වූයේ කැලෑ තීරයකිනි. වැව්ගම්වලට අමතරව මෙසේ එකිනෙකින් ස්වාධීන වූ ගම් පිළිබඳව ඓතිහාසික මූලාශ්‍රවල කෙටි සඳහන් කිරීම් ඇතුළත්ව තිබේ. නොයෙකුත් වෘත්තිකයින් විසූ ඇතැම් ජනාවාස වංසකථාවල සහ සෙල්ලිපිවල සඳහන් කොට තිබෙන්නේ මෙසේයි.

1. කසීකාරගාම - ගොවියන් විසූ ගම්

2. මණිකාරගාම - මැණික් ගැරූ හෝ මැණික් කැපූ අය ජීවත් වූ ගම්


3. ගෝපාලගම - ගොපල්ලන් විසූ ගම්

4. කේවට්ටගාම - ධීවරයින් විසූ ගම්


5. කුම්බකාරගාම - වළං සාදන්නන් විසූ ගම්

5. වඩ්ඨකීගාම - වඩුවන් විසූ ගම්


මේ හැරුණු විට කාර්යය පදනම් කොට ගෙන ක්‍රියාත්මක වූ තවත් වර්ග කිහිපයක් තිබිණි.


7. පට්ඨානගාම - වරාය ආශ්‍රිතව තිබූ ගම්

8. නියම්ගම් - වෙළෙඳ ගම්

9. ඔළගම් - ජනතාව විසින් අතහැර දැමූ වැව්ගම්


පැරණි ගම්මාන වල විශාලත්වය පිළිබඳ ස්ථීර නිගමනයකට එලැඹි නැති නමුත් දැනට පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව කුඩා ප්‍රමාණයේ ගමක විශාලත්වය සාමාන්‍යයෙන් හෙක්ටයාර් 0.15 කට වැඩි නොවීය. මධ්‍යම ප්‍රමාණයේ ග්‍රාමීය ජනාවාසයක් හෙක්ටයාර 2 ක ප්‍රමාණයක් වූ අතර විශාල නාගරික ජනාවාසයක් හෙක්ටයාර 2 කට වඩා විශාලය විය.

සාමාන්‍යයෙන් ගමක පවුල් 5-6 ත් අතර වාසය කළේය. ඇතැම් ගම්වල පවුල් 30 ක් විසූ බව සාහිත්‍ය මූලාශ්‍රවල දැක්වේ. නාගරික ජනාවාස වල මේ තත්ත්වය වෙනස් විය. ක්‍රි.ව. හයවන සියවස වන විට පැරණි මාගම නගරයේ සහ ඊට තදානුබද්ධ නාගරික ජනාවාසවල අවම තරමින් 35000 ක ජනගහනක් විසූ බවට ගණනය කර තිබේ.


ඇතැම් ගම් වැටකින් ආරක්ෂා කර තිබී ඇත. එවැනි ගම් "පරික්බිත්ත ගම්" ලෙස හඳුන්වයි.

එවැනි ආරක්ෂාවක් නොමැති ගම් "අපරිබිත්ත ගම්" යනුවෙන් හඳුන්වයි.

එමෙන්ම විශාල ජනාවාස හැඳින්වීමට "පුර" යන පදය ව්‍යවහාර විය. ක්‍රි.පූ. 250 තරම් ඈත කාලයක රචිත බ්‍රාහ්මී සෙල්ලිපියක "පුර කමත" යනුවෙන් තනතුරු නාමයක් සඳහන්ව තිබේ. එහි අදහස 'නගරයේ ප්‍රධාන වාස්තු ශිල්පියා' යි.


පළමුවන විජයබාහු රජතුමාට (ක්‍රි.ව.1055-1110) අයත් පනාකඩුව තඹ සන්නසේ අනුරාධපුරය නම් කිරීමට යොදා තිබෙන්නේ 'නුරුපුර' යන ව්‍යවහාරයයි.


'නකර' හෙවත් නගර යනුවෙන් හැඳින්වූ ජනාවාස විශේෂයක් ගැන මෙරට පුරාණතම සෙල්ලිපිවල සඳහන් ය. මෙහි නගර යනුවෙන් හඳුන්වා තිබෙන්නේ ගමත්, පුරයත් අතර වූ ජනාවාසයකි. ගම්වල නිෂ්පාදනය කරන දෑ වෙළෙඳාම පිණිස මහා නගර වලට ගෙනයාම සම්බන්ධීකරණය වූයේ මෙම අතරමැදි ජනාවාසවලිනි. ඒවා ප්‍රමාණයෙන් ගමකට වඩා මඳක් විශාල වූ ජනාවාසයි.
(c) Shilpa Sayura Foundation 2006-2017