මුල් ඓතිහාසික යුගයේ ජනාවාස හා ජනාවාස ව්‍යාප්තියට බල පෑ ප්‍රධාන සාධක
 

මෙරට පුරාණ ජනාවාසවල ව්‍යාප්තිය සහ ඒවාට අදාළ වෙනත් තොරතුරු නිශ්චිතව වටහා ගැනීමට පුරාවිද්‍යාත්මක සාක්ෂි ඉවහල් වෙයි. මුල් ඓතිහාසික යුගය වශයෙන් සැලකෙන්නේ ක්‍රි.පූ. 450 පමණ සිට ක්‍රිස්තු වර්ෂයෙන් 300 වන තුරු කාලපරිච්ඡේදයයි. මෙම කාලපරිච්ඡේදය තුළ මෙරට තිබූ ජනාවාස ව්‍යාප්තව පැවති ප්‍රදේශ පෙන්නුම් කරන ප්‍රධාන දර්ශකය නම් කුඩා ගම්වැව්වල ව්‍යාප්තියයි.


නටඹුන්ව ගිය එවැනි කුඩා ගම්වැව් දහස් ගණනක් ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තව තිබේ. ඓතිහාසික යුගයේ  ජනාවාස බහුතරය වැවක් කේන්ද්‍ර කොට ගනිමින් එහි ආසන්නයේ ම පැවතිණි. වැව් බැම්මේ එක් කෙළවරක වැවට නුදුරුව එවැනි ගම් පිහිටා තිබූ බව පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් තහවුරු කොට තිබේ.

ජනාවාස ව්‍යාප්තියට බල පෑ ප්‍රධාන සාධක

පුරාණ ජනාවාස ව්‍යාප්තියට බල පෑ ප්‍රධාන සාධකයක් වූයේ භූ භෞතික පසුබිමයි. වාර්ෂික වර්ෂාපතන අගය, භූ විෂමතාව, ස්වභාව්ක සම්පත්වල ව්‍යාප්තිය, ජලවහනය ආදිය මේ අතර ප්‍රධාන ය.


මුල් ඓතිහාසික යුගයේ දී ජනාවාස ව්‍යාප්ත වූයේ ශ්‍රී ලංකාවේ වියළි දේශගුණයක් තිබෙන ප්‍රදේශවලය.

වාර්ෂික වර්ෂාපතනය මිලිලීටර 1000-1250 ක් ලැබෙන ප්‍රදේ්‍ශ වියළි කලාපය ලෙසත්, මිලිලීටර 1000 ට අඩු ප්‍රදේශ ශුෂ්ක ප්‍රදේශ ලෙසත් සැලකේ.


කෘෂිකර්මයට අවශ්‍ය ජලය ප්‍රමාණවත් තරමින් වර්ෂය පුරා ලබා ගැනීම දුෂ්කර වුවත් මූලික ජනාවාස වියළි කලාපයේ ව්‍යාප්ත වූයේ එහි පසේ තිබෙන සාරවත් බව නිසාය. රතුදුඹුරු පස යනුවෙන් හැඳින්වෙන මෙම පස කෘෂිකර්මයට ඉතාම සුදුසු ය.


මෙම ප්‍රදේශ වල කෘෂිකර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ලැබෙන මාර්ග දෙකක් තිබිණි. ඉන් ප්‍රධාන වූයේ මෝසම් වර්ෂාවයි. දෙවැන්න වැව් තැනීමෙන් රැස්කර ගන්නා ජලයයි.

මුල් ඓතිහාසික යුගයට අයත් ජනාවාස වර්ධනය වූ ආකාරය ගැන තිබෙන විස්තරාත්මක ආධ්‍යයනවල ප්‍රතිඵල මඟින් පෙන්නුම් කෙරෙන්නේ මෙරට මූලික ජනාවාස පැතිරෙන්නේ ගංගා නිම්න චල නොව ඊට පිටතින් පිහිටි ප්‍රදේශවල බවයි. මීට බලපෑ ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ ගංගා පිටාර ගැලීමෙන් වන විනාශය පාලනය කිරීමට සරිලන තාක්ෂණයක් ඒ වන විට නොමැති වීමයි.


ගංවතුර පාලනය කිරීම ආරම්භ වූයේ ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේ අගභාගයේ දී හෝ ක්‍රිස්තු වර්ෂයෙන් පළමුවන සියවසේ දී විය යුතුය. තිස්සමහාරාමය වැව ඉඳිකළ ඉළනාග රජු (ක්‍රි.ව.33-43) සමයේ කිරිඳිඔය හරස් කොට අමුණක් බැඳ තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ගනේකන්ද විහාරයේ සහ ගල්ලෙන විහාරයේ තිබෙන ගල්ගුහා දෙකක කොටා ඇති බ්‍රාහ්මී සෙල්ලිපිවල  "අවරණ" යන වචනය දැක්වේ. එහි අදහස "අමුණ" යන්නයි.
(c) Shilpa Sayura Foundation 2006-2017