තාක්ෂණය
 

ප්‍රාග් ඓතිහාසික අවධියේ පැවති ගල් ආයුධ තාක්ෂණයෙන් කෙමෙන් මිදී ලෝහ තාක්ෂණය හා මැටි බඳුන් නිපදවීමේ තාක්ෂණයට පරිවර්තනය වීම ඇරඹුනේ පූර්ව ඓතිහාසික යුගය නමින් හැඳින්වෙන කාලපරිච්ඡේදයේ දී ය. ලෝහයක් ලෙස යකඩ භාවිත කිරීම ආරම්භ වූ නිසා මේ යුගයේ වැසියන්ට වඩාත් කාර්යක්ෂම ලෙස තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කර ගැනීමේ අවස්ථාව උදාවිය.

යකඩ ශක්තිමත් ලෝහයක් නිසා කැලෑ එළිපෙහෙලි කිරීම, පොළොව කෙටීම, සී සෑම ආදී කටයුතුවලට පහසු විය. උඩරංචාමඩමේ පැරණි නිවාසයෙන් සොයාගත් පින්තාරු කළ මැටි බඳුන ඒ කාලයේ පැවති මැටි භාණ්ඩ නිපදවීමේ තාක්ෂණයේ උසස් ප්‍රමිතිය පෙන්නුම් කරයි.


නිවාස ඉඳිකිරීම ආරම්භ වූ හෙයින් ඊට අදාළ තාක්ෂණික දැනුම ක්‍රමයෙන් වර්ධනය විය. ගිලා නොබසින ලෙස ගෙබිම සකස් කර ගැනීම, පොළොවට ලම්බාකාර ලෙස බිත්ති ඉඳිකිරීම ආදිය ඊට අයත් ය. උඩරංචාමඩම නිවාසයේ කැණීම් කටයුතු වලදී සොයාගත් මැටි පබළුව මඟින් පෙන්නුම් කෙරෙන්නේ පබළු නිපදවීමේ තාක්ෂණය ඒ යුගයේ පැවති බවයි. පබළුවක් නිපදවීමට ඉතා සූක්ෂම තාක්ෂණයක් අවශ්‍යය.
(c) Shilpa Sayura Foundation 2006-2017