ප්‍රාග් ඓතිහාසික යුගයේ ගත කළ දඩයම් ජීවිකාව අවසන් කර ස්ථීර ජනාවාස හා වාසස්ථාන තනා ගැනීම මේ යුගය තුළ සිදු වූ වැදගත් ලක්ෂණයකි. ස්ථීරවාසිතාව යනුවෙන් හැඳින්වෙන මෙම ලක්ෂණය පිළිබිඹු කරන ප්‍රධාන සාක්ෂිය නම් ඒ යුගයට අයත් දැනට සොයාගෙන තිබෙන නිවාස අවශේෂ යි.
2009 වසරේදී රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි උඩරංචාමඩල ගම්මානයෙන් සොයා ගැනිණි. එම නිවාසය මීටර් 10.20 x 6.80 ප්‍රමාණයෙන් සහ ආයත චතුරස්‍රාකර හැඩයෙන් යුක්ත වූවකි. එහි ඉදිරිපස සහ පසුපස කොටස් බිත්තියකින් වෙන් කර තිබිණි. නිවසේ බිත්ති වරිච්චි මැටියෙන් ඉදිකොට තිබූ අතර වහල ඉලුක් හෝ එවැනි දෙයකින් සෙවිලි කොට තිබෙන්නට ඇත.
ජීවන රටාව
මෙහි කැණීම් කළේ මීට අවුරුදු 3129 ට ඉහත ඉඳි කළ නිවාසයකි. එහි ඇතුළත තිබී පැරණි වළං කටු රැසක් සොයා ගැනිණි. ඒවා අතර පින්තාරු කළ වළඳකට අයත් කැබලි ගණනාවක් ද විය. සුදු පැහැති පසුබිමක රතු පැහැයෙන් ඉරි යොදා එම වළඳේ පිටපැත්ත සහ අඩියේ යට පැත්ත අලංකාර කර තිබේ. ඉරි යොදා තිබෙන ආකාරය අනුව එම වළඳ සකපෝරුව භාවිත කර තනන ලද්දකි. මෙවැනි ම තවත් වළඳක කොටස් හල්දුල්මුල්ලේ නේවාසික ස්ථානයක් කැණීමෙන් සොයාගැනිණි.
කැණීම් කළ නිවසේ මුළුතැන්ගේ මෙවලම් කිහිපයක් තිබුණි. ඒ අතර ගල් මෙවලම් සහ යකඩ මෙවලම් ද විය. ඒ භාණ්ඩ එකතුවේ වැඩි ප්‍රමාණයක් ගල් මෙවලම් තිබීමෙනි පෙනී යන්නේ යකඩ භාවිතය ඒ වන විටත් ඔවුන් ට අළුත් අත්දැකීමක් බව ය. මුළුතැන්ගෙයි තිබූ වෙනත් සුන්බුන් අතර එම නිවාසයේ වාසය කළ පුද්ගලයින් ආහරය වෙනුවෙන් දඩයම් කළ සතුන්ගේ ඇටකටු ද ඉතිරි වී තිබිණි. මේ ඇටකටු මුවා, ගවයා, වල්ඌරා සහ දඬුලේනා යන සතුන්ට අයත් ය. මෙම සාක්ෂ් මගින් පෙන්වා දෙන්නේ කෘෂිකාර්මික දිවියකට හුරු වුව ද සතුන් දඩයම් කිරීම ඔවුන් සම්පූර්ණයෙන් ම අත් නොහළ බවයි.
නිවස තුළ තිබී සොයාගත් දේ අතරට මැටි පබළු කීපයක්, කාන්තාවන් ඇස් අඳුන් තැබීමට භාවිත කරන ලෝහ කූරක් සහ සිරුර වර්ණ ගැන්වීමට භාවිත කරන කහ සහ රතු පැහැති ගුරුගල් දෙකක් ද ඒවා උරච්චි කිරීමට යොදා ගන්නා අඹරුම් ගල් දෙකක ද ඇතුළත් ය. මෙම සාක්ෂි මගින් පෙනෙන්නේ එකල විසූ කාන්තාවන් තමන්ගේ රූ සපුව අලංකාර කර ගැනීමට උනන්දුවක් දක්වා ඇති බවයි.
