ක්‍රි.පූ. 307-267
අගනගරය - අනුරාධපුරය (පාලන කාලය අවු. 40 යි)
මුටසීව රජුට පුතුන් දස දෙනෙක් ද, දූන් දෙදෙනෙක් ද වූහ. දේවානම්පියතිස්‌ස හෙවත් දෙවන පෑතිස් යයි ප්‍රසිද්ධ දෙවෙනි පුත්‍ර තෙමේ පිය රජහු ඇවෑමෙන් රජ විය. මේ රජු ද දඹදිව ධර්මාශෝක මහ රජද බොහෝ කලක් නොදුටු මිතුරන්ව සිටියාහුය.
මේ අතරතුර දෙවන පෑතිස් රජු ධර්මාශෝක රජුට අනඟි මුතුමැණික් රැසක් සතුටු පඬුරු ලෙසදී දූතයන් සතර දෙනකු පැළලුප් නුවරට යැවීය. ධර්මාශෝක රජු ඒ පඬුරු සතුටින් පිළිගෙන දෙවන පෑතිස් රජුට ද වටිනා තෑගි බෝග එවමින් 'මම බුදුන් දහම් සඟ සරණගත වූයෙමි. ඔබද සිත පහදාගෙන මේ තුනුරුවන් සරණ යන්න' යැයි කියා එවීය. ඉන්පසු ධර්මාශෝක රජු ලංකාවේ බුද්ධාගම පිහිටුවන පිණිස තමාගේ පුත්‍ර වූ මිහිඳු තෙරුන් වහන්සේ ලංකාවට එවුයේය.
හෙතෙම තවත් ශ්‍රමණවරුන් සිව් දෙනකුත් සමඟ ලංකාවට පැමිණ දෙවන පෑතිස් රජු විසින් ගෞරවයෙන් පිළිගන්නා ලදින් ධර්ම දේශනා කොට ලංකාවෙහි බුද්ධ ශාසනය පිහිට වූයේය. සිංහලයෝ ක්‍රම ක්‍රමයෙන් පුරාණ ඇදහිලි අත්හැර දමා බුද්ධාගම පිළිගත්හ. රජතුමා බුද්ධ භක්‌තිය පිළිගෙන දඹදිවින් ධාතු ගෙන්වා නිදන් කළේය.
රජතුමාගේ සහෝදරයාගේ බිසව් අනුලා දේවි බුද්ධ ශාසනයෙහි මහණවනු කැමති වූ බැවින් මිහිඳු තෙරහුගේ සහෝදරී වූ සංඝමිත්තා තෙරණියන්ට ලංකාවට එන ලෙස ආරාධනා කරනු පිණිස දඹදිවට දූතයෙක් යැවීය.
ඕතොමෝ ද ඒ දූතයාගේ ආරාධනාව පිළිගෙන බුදුන් පිටදුන් බෝ ගසින් ශාඛාවක් ද රැගෙන නැව් නැගී ලංකාවට ආවාය. මේ බෝධි ශාඛාව අනුරාධපුර මහමෙව්නා නම් උයන්හි රෝපණය කරවන ලද්දේය. සංඝමිත්තා ස්‌ථවිර තොමෝ ද අනුලා දේවීන් ඇතුළුව බොහෝ කාන්තාවන් මහණ කොට දැඩි උත්සාහයෙන් ආගම දියුණු කිරීමෙහි යෙදී සිට වයස් ගත වූ පසු විවේකයෙන් කාලය ගත කළාය.
දෙවන පෑතිස් රජ අනුරාධපුරයෙහි ථූපාරාමය නම් චෛත්‍යය කරවා එහි එහි බුදුන්ගේ දකුණු අකු ධාතුව නිදන් කෙළේය. මිහින්තලා පර්වතයෙහි තෙරුන් වහන්සේලාට වාසය පිණිස ගබඩා තිස් දෙකක් සෑද වූයේය. තිසා වැවද මේ රජු විසින් බන්ඳවන ලද්දේය.
දෙවන පෑතිස් රජුගේ සහෝදර වූ මහානාග නම් යුව රජෙක් සිටියේය. රජුගේ මරණින් පසු පුත් කුමරුවන්ට නොදී යුවරජ රාජ්‍යය අත්පත් කර ගත්නේය යන භයින් රජුගේ බිසව් අඹයක විෂ යොදා තවත් අඹ හා විෂ දැමූ අඹය මතුපිටින් තබා වැවක් බඳවමින් සිටි යුව රජ්ජුරුවන්ට යැවීය. බිසවුන්ගේ පුත්‍රයාත් කුඩා පියාණන් සමඟ වැව බඳින තැනට ගොස් සිට විෂ මිශ්‍ර කොට තිබූ අඹ ගෙඩිය කා මළේය. යුවරජ බියපත්ව තමාගේ දේවිය හා සේනාව හැරගෙන රුහුණු රටට පලා ගියේය. මේ අතර මඟදී යුව රජුගේ බිසවට යටාල නම් විහාරයේ දී දරුවකු ලැබුණාය. මේ කුමාරයන් වෙනුවෙන් යුව රජ දේවානම් පියතිස්‌ස රජු විසින් බිම්තැන්න පළාතේ මහියංගණ නම් දාගැබ් බන්ඳවන ලද්දේය.
දෙවන පෑතිස් රජු අනුරාධපුරයෙහි හතළිස් අවුරුද්දක් දශරාජ ධර්මයෙන් රාජ්‍යය කොට පරලෝකප්‍රාප්ත විය. (දශරාජ ධර්මය යනු රාජ්‍ය පාලකයකුට තිබිය යුතු දානය, ශීලය, පරිත්‍යාගය, සෘජුබව, මෘදුබව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ක්‍ෂාන්තිය, මෛත්‍රිය වේ.)
