ක්‍රි.පූ. 474-454- උපතිස්‌ත නුවර (පාලන කාලය අවු. 20 යි)
පඬුකාභය කුමරයාට සත් අවුරුදු පමණ වයස් වූ පසු උන්මාද චිත්‍රා කුමරිය පුත්‍රයකු වැදූ බව ද ඔහු දොරමඬලා නම් ගම්හි ජීවත්ව සිටින බවද සැලවී රාජ කුමාරයෝ ඒ ගමේ බාල දරුවන් දෙවරක් මැරවූහ. නමුත් පඬුකාභය කුමාරයා අසු නොවීය. ඉන්පසු මව් කුමරි තොමෝ පුත්‍රයාගේ ආරක්‌ෂාව විධාන කොට ඉතා ධනවත් පඬිරුවනක් වූ පඬුල නම් බ්‍රාහ්මණයෙකු වෙත යවා ඔහුට ශිල්ප ඉගැන්වූහ.
ශිල්ප නිම වූ පසු බ්‍රාහ්මණ තෙම කුමටහට සේවාභටයන් සම්පාදනය පිණිස මසු ලක්‌ෂයක් දුන්නේය. කුමාර තෙම බමුණන්ගේ චන්ද්‍ර නම් පුත්‍රයා තමහට උපකාර පිණිස ගෙන හේවායන් පන්සියයක් ද රැස්‌කොටගෙන කසාගල නම් ගමට පැමිණ එහිදී ද සත් සියයක් පුරුෂයන් ලැබ ගිරිකඩගල නම් ස්‌ථානයට ගියේය. ඔහුගේ සොහොයුරු ගිරිකඩසීව නම් කුමාරතෙම ඒ ප්‍රදේශය ආණ්‌ඩු කෙළේය. ඔහුගේ දියණිය වූ ස්‌වර්ණපාලි නම් කුමාරිය පියාණන්ට ද වැඩ කරුවන්ට ද ආහාර ගෙන්වා ගෙන සහපිරිවරින් යද්දී කුමරුට ඇය හමුවූවාය.
පඬුකාභය කුමාර තෙම ස්‌වර්ණපාලිය පැහැරගෙන පලා ගියේය. කුමරියගේ සහෝදරයෝ ඒ අසා යුද පිණිස ගියෝය. නමුත් පඬුල බ්‍රාහ්මණයාගේ පුත්‍ර වූ චන්ද්‍ර කුමාරයා විසින් ඔවුහු මරන ලද්දෝය.
ඉක්‌බිති පඬුකාභය කුමරු මාවැලි ගඟින් දකුණු දෙසට පිහිටි දොළුගල නම් ස්‌ථානයට පැමිණ එහි සතර අවුරුද්දක් වාසය කළේය. සොහොයුරන් ඒ පුවත් අසා යුධ සේනාවක් පිරිවරා ගොස් දුම්රක්‌ගල සමීපයේ කඳවුරු බැඳ සිටියෝය. පඬුකාභය තෙමේ එතැනින් ඔවුන් පලවා ඔවුන්ගේ කඳවුරෙහි දෑවුරුද්දක් විසීය. අභය රජ තමහට පරාජය අත්වේදෝ යන භයින් බෑනා හා සමඟ රාජ්‍යය බෙදාගන්ට රහසින් යෝජනාවක් කෙළේය. රජුගේ සහෝදරයෝ ඒ බව දැන කෝපවී රජු මරන්ට තැත් කළෝය. රජ තෙමේ එකල්හි සහෝදරයන්ට රාජ්‍යය පාවා දුන්නේය. ඔවුහු තිස්‌ස නම් කුමරුට රාජ්‍යය ලබා දුන්නේය. මේ වන විට අභය රජු රාජ්‍යය ලැබ විසි අවුරුද්දක් විය.
පඬුකාභය කුමාරයා දුම්රක්‌ගල සතර අවුරුද්දක් වාසය කොට නැවත සේනා සහිතව රිටිගලට ගොස් යුද්ධ කාලය බලමින් එහි සත් අවුරුද්දක් කාලය ගත කළේය. සොහොයුරු පිරිස සේනාව සමඟ රිටිගල වටලෑහ. කුමාරයාගේ සේනාවෝ යුධ කොට සතුරන් පරාජය කළෝය. සොහොයුරන් අට දෙනද යුධ භුමියෙහි මළහ. පඬුකාභය කුමාරයා තමාගේ මවු පාර්ශවයේ මුත්තණු වූ අනුරාධ කුමරුන් වාසය කළ ප්‍රදේශයට ගියේය.
කුමාරයා ඒ ප්‍රදේශයෙහි උතුම් නුවරක් ඉඳි කෙළේය. විජය රජුගේ ඇමතිවූත් භද්‍රකාත්‍යායන බිසවගේ සහෝදරවූත් අනුරාධයන් දෙදෙනාගේ නිවාස වූත් හෙයින් ද අනුරේ නැකතින් පිහිටුවන ලද බැවින් ද ඒ නුවර "අනුරාධපුර" නම් වී යයි මහා වංශයෙහි සඳහන් වේ. පඬුකාභය රජුට ද අභය රජුට ද අතරතුරේ රජුන් නැති දාහත් අවුරුද්දක කාලයක් තිබුණේය.
