ක්‍රි.පූ.504-474-උපතිස්‌ස නුවර (පාලන කාලය අවු. 30 යි)
පඬුවස් රජු සුද්ධෝදන මහරජාණන්ගේ සොහොයුරෙකු වූ අමිතෝදන ශාක්‍ය කුමාරයාගේ මිනිබිරියක් වූ භද්‍රාකාත්‍යා නම් කුමරිය මෙහෙසි කොට ගෙන උපතිස්‌ස නුවර වෙසෙමින් රට පාලනය ලෙළේය. මහා වංශයෙහි සඳහන් වන පළමුවෙනි වැව වූ අභය වැව මේ රජහු විසින් බඳවන ලද්දේය.
භද්‍රකන්‍යා යන බිසවගේ සහෝදරයෝ හය දෙනෙක් ලංකාවට පැමිණ තමන් කැමති ස්‌ථාන වල ගම් පිහිටුවාගෙන වාසය කළෝය. රාම නම් කුමරු වාසය කළ තැන රාමගොණ නම් විය. උරුවෙලය, අනුරාධය යන දෙදෙනාගේ නිවාස උරුවෙලය, අනුරාධය යන නාමයන්ගෙන් ප්‍රකට විය. එසේම විජිතය, දීඝායුය, රෝහණය යන මොවුන්ගේ වාසස්‌ථාන විජිතපුරය, දීඝායුගමය, රුහුණය යන නම් විය.
පඬුවස් දෙව් රජ හට පුත්තු දස දෙනෙක් ද සියල්ලන්ටම බාල උන්මාද චිත්‍රා නම් දුවක් ද වූහ. උන්මාද චිත්‍රා නම් කුමරියගේ පුතෙක් රාජ්‍යය ලබනු සඳහා සිය සොහොයුරන් මරන්නේ යැයි බමුණන් විසින් ප්‍රකාශ කරන ලද බැවින්, ඇගේ සහෝදරයෝ ඇයව මරවන්ට කල්පනා කළෝය. වැඩිමහල් (අභය) කුමාරයා එය වළක්‌වා කුමරියට විවාහ වීමට ඉඩකඩ නොලැබෙන පරිද්දෙන් එක්‌ටැම් ගෙයක වස්‌වා රැකවල් ලැවුයේය.
කුමරිය මෙසේ සිටින අතර දීඝායු කුමරුන් පුත් දීඝගාමිණී නම් කුමාරයා දඹදිවින් අවුත් රජමාළිගාවේ කටයුතු කිරීමට පත් වූයේය. උන්මාද චිත්‍රා තොමෝ කවුළුවෙන් ඔහු දැක සිත ඇදී ගොස් කවරෙක්‌දැයි දාසියගෙන් අසා දැනගෙන ඒ කුමරුට හසුන්පත් යැවීමෙන් ද ඔහු විසින් එවන ලද තෑගි බෝග ගැනීමෙන් ද සෙනෙහස පවත්වන්ට පටන් ගත්තීය. කල් යාමෙන් කුමරා එක්‌ටැම් ගෙයට රහසිගතව ඒමට යාමට පටන් ගත්තේය. මේ බව දැනගත් මව්පිය දෙදෙන දීඝගාමිණී කුමරුට උන්මාද චිත්‍රා සරණ කොට දුන්හ. නුමුත් දෑට පුතෙක් වී නම් ඔහු මරවන ලෙස පුත් කුමරුවෝ පියරජුගෙන් අවසර ලද්දෝය.
උන්මාද චිත්‍රා කුමරිය ගැබ්ගෙන සිටින විට දරුවා මරණින් වලක්‌වා ගන්නා අභිප්‍රායෙන් ප්‍රසූත කිරීමට කටයුතු බාරව සිටි ස්‌ත්‍රීය රහසින් මාලිගාවට ගෙන්වා ගත්තීය. ඉන්පසු උන්මාද චිත්‍රා කුමරියට පිරිමි දරුවකු ද උපස්‌ථායක ස්‌ත්‍රීයට ගෑනු දරුවකු ද ලැබුණේය. කුමාරිකා තොමෝ බිලිදු කුමරු හට මුත්තණුවන්ගේ හා දෙටු මයිල්හුගේ නම් එක්‌කොට පඬුකාභයයි නම් කොට රහසිගතව දොරමඬලා නම් ගමට ගෙනයන පිණිස ස්‌ත්‍රිය හට භාරදී උපස්‌ථායක ස්‌ත්‍රියගේ ගෑනු දරුවා ලඟ තබා ගත්තාය. කුමරි දුවක ලදුවයි අසා රජ කුමරුවෝ සතුටු වූහ.
මෙහෙකාරිව සිටි කාන්තාව කුමරහු කරඬුවක බහාගෙන ගොස් දොරමඬලා නම් ගමෙහි එක්‌තරා ගම් ප්‍රධානියකුට රන් දහසකුත් සමඟ භාර දුන්නීය. තමාගේ බිරිඳ ද එදවස්‌හිම පුතකු වැදූ බැවින් 'මාගේ බිරින්ඳ දරුවන් දෙදෙනෙකු වැඳුවාය' යි ගමේ ප්‍රසිද්ධ කොට ඒ ගම් ප්‍රධානියා කුමරු හදා වඩා ගත්තේය.
පඬුවස් දෙව්රජ තිස්‌දවුරුද්දක් රාජ්‍යය කොට පඬුකාභය කුමරහු උපන් පසු ක්‍රි.පූ. 474 වෙනි වර්ෂයේ දී කාලක්‍රියා කෙළේය. සියලු රාජපුත්‍රයෝ එක්‌වී අභය නම් වැඩිමහල් කුමරහු රජ බවට පත් කළෝය.
