දඹදිව ලාට රට සිංහපුර නම් නුවර රාජ්‍ය කළ සිංහබාහු රජු ගේ වැඩිමහල් පුත් විජය නම් වීය. එ නුවර වැසියන්ට මහත් හිරිහැරයක් වූ මොහුගේ නොහික්‌මුණු ගති පැවතුම් රජතුමා ට සැලවෙන්නට විය. එතුමා නොයෙක් වර විජය කුමරුට අවවාද කෙළේ නමුත් හේ විෂම චර්යාවන් අත් නොහැරියේ ය. මෙයින් කෝපයට පත් සිංහබාහු රජතුමා හත් සියයක් පිරිවර ද සමඟ විජය කුමරු රටින් පිටුවහල් කෙලේ ය.
පළමුව දඹදිවෙහි ම සුප්පාරක නැව් තොටට ගොඩ බට ඔවුහු එහි වැසියන් ගේ නොකැමැත්ත නිසාම නැවත නැව් නැගී ය.
ක්‍රි.පූ. 543 දී එනම් බුදුන් වහන්සේ පිරිනිවන් පෑ දිනයෙහි ම ලංකාවේ තම්බපණ්‌නි වෙරළට ගොඩ බැස්‌සාහු මොවුහු මෙහි රජකම් කළා වූ යක්‍ෂ ගෝත්‍රික රජු ගේ බිසව, කුවේනිය සරණ පාවා ගැනීමෙන් අනතුරුව යක්‍ෂ රජු මරා මෙරට පාලකය විය.
වසර 38 ක මොහු ගේ පාලන කාලය තුළ ප්‍රකට කරුණු අතර විශේෂිත වූ කරුණු කීපයක් වෙයි. මොහු හා පැමිණි පිරිස දිවයිනෙහි සතර අත විසිර ගියහ. ඇමැති තනතුරු ලැබ කීප දෙනෙකු තම නමින් ප්‍රදේශ පාලනයට පෙළඹුණේ ය. අනුරාධ නම් ඇමැතියා අනුරාධපුරය නම් ගම පිහිටුවී ම එක් නිදසුනකි.
වසර කිහිපයක් කුවේණිය හා විසූ විජය රජු පසුව ඇය හැර දමා ඉන්දියාවේ මධුරා නුවර පඬි රජු ගේ දියණියන් ආවාහ කර ගත්තේය. ඈ සමඟ පැමිණි තරුණියන් සමූහය ඇමැතිවරුන් පාවා ගත් හ. කුවේණිය, විජය රජුට දාව උපන් දියණිය හා පුතු සමඟ ලංකාපුරයට ගියාය. දරුවන් පිටත තබා නුවරට ඇතුළු වූ කුවේණිය ලංකාපුර එක් යක්‍ෂකු විසින් මරා දමන ලද්දේ ය. ඇයගේ සොහොයුරෙකු ගේ අනු දැනුමෙන් දරු දෙදෙනා පලා ගිය හ.
විජය රජු තමා ගේ ඇවෑමෙන් මෙහි රජකමට තම බාල සොහොයුරු සුමිත්ත කුමරු එවන ලෙස ඉල්ලා පිය රජුට දන්වා සිටිය ද ඒ වනවිට පිය රජු මළ හෙයින් ලාට රට රජකම සුමිත්ත කුමරුට හිමි විය. ලංකා රාජ්‍ය ද තම පිය පරපුරෙහි ම පවත්වාගෙන යනු කැමති වූ සුමිත්ත රජු ඔහුගේ බාල කුමරු පඬුවස් දෙව් කුමරු ලංකාවට එවී ය. තම්බපණ්‌ණිය නගරයෙහි රාජ්‍ය විචාල විජය රජු ක්‍රි.පූ. 505 දී මිය ගියේ ය.
