ආගම, සාහිත්‍යය, කලාශිල්ප හා අධ්‍යාපනය
 
ආගම

බුදු දහම රාජ්‍යය ආගම විය. රජු බෞද්ධයකු විය යුතුය. නායක්කාරි රජවරු පවා බුදු දහම වැළඳගෙන භික්ෂුන් වහන්සේලා සමඟ සබඳතාවයක් පවත්වා ගෙන ගියේ එබැවිනි. එසේ නොවුණු විට ජනතාවගේ විරෝධයට හා පිළිකුලට ලක් වේ. සීතාවක රාජසිංහයන්ට, කෝට්ටේ ධර්මපාලට අත් වූ ඉරණම මීට සාක්ෂි වේ.  

රජු සසුනේ ප්‍රධාන දායකයා විය. රජු සසුන රැකිය යුතු විය. එවිට සසුන විසින් රාජත්වය නිත්‍යානුකූල කරදෙනු ලැබුණි. භික්ෂූන්ගේ දෛනික ජීවිතයට අවශ්‍ය චිවර, පිණ්ඩපාත, සේනාසන, ගිලෝනෝපස්ථාන යන සිව්පසයෙන් සංග්‍රහ කළ යුතු විය. 1815 දී අත්සන් කළ උඩරට ගිවිසුමේ 5 වන වගන්තියෙන් අවධාරණය කර සිටයේ ද බුදු දහම සුරැකිය යුතු බවත්, සංඝයා වහන්සේලා හා විහාරස්ථාන ආරක්ෂා කළ යුතු බවත් ය. 1818 ඉංග්‍රීසින්ට එරෙහිව අවි එසවීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ ගිවිසුමේ පස්වන වගන්තිය කඩ කිරීමත්, ගිවිසුම් ප්‍රකාරව එය ඉටු නොකිරීමත්ය.

සාහිත්‍යය

දඹදෙණි, කුරුණෑගල්, කෝට්ටේ යුගයයන් හා සසඳන විට උඩරට රාජධානි සමය සිංහල සාහිත්‍යයේ පරිහානි යුගයක් විය. වැලිවිට සරණංකර මාහිමිපාණන් වහන්සේගේ අනුත්තරීය වූ උද්යෝගය නොවන්නට අපට උඩරට රාජ්‍යය සමයේ සාහිත්‍යය යැයි කතාකරන්නට දෙයක් නොතිබෙනු ඇත. උන්වහන්සේ විසින් රචිත බණදහම්පොත, සාරරාථ සංග්‍රහය, සාරාර්ථදීපනී යන කෘතීන් උන්වහන්සේගේ ශිෂ්‍ය, අනුශිෂ්‍ය පරපුර විසින් ලියන ලද කෘතින් මෙකල ලියැවුණු සාහිත්‍යය කෘති අතර වේ.

කලා ශිල්ප

කලාශිල්ප අතින් උඩරට රාජ්‍ය සමය සුවිශේෂ වේ. අනුරාධපුර යුගයෙන් පසු සිංහල කලා කරුවන් අතින් නිමවුණු ශ්‍රේෂ්ඨතම කලා නිර්මාණයන් දැකිය හැක්කේ උඩරට රාජධානි සමයේ ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නෝමඳ අනුග්‍රහය, වැලිවිට අසරණ සරණංකර මාහිමිපාණන්ගේ ක්‍රියාදාමය හේතුකොටගෙන මෙම කලා පුනරුදය ඇතිවිය.

චිත්‍ර කලාව අතින් ගත්විට දෙගල් දොරුව, දඹුලු විහාරය අතිශයින් වැදගත් ස්ථාන වේ. "උඩරට චිත්‍ර කලා සම්ප්‍රදාය" යනුවෙන් හැඳින්විය හැකි සුුවිශේෂි වූ චිත්‍රකලා සම්ප්‍රදායක් බිහිකරලීමට මෙකල චිතූ ශිල්පීන් සමත්ව ඇත. සාමනේර හිමිනමක් වූ දෙවරගම්පොල සිල්වත් තැන, කොස්වත්තේ හිත්තර නයිදේ, නීලගම පටබැදි, මෙකල බිහි වූ අතිදක්ෂ චිත්‍ර ශිල්පීන් වේ. ජනකථා හා බුදු සිරිත චිත්‍රයට නැගීමත් විහාර බිත්තිවල දික් අතට සිතුවම් කිරීමත් මෙකල සුලභව දැකිය හැකිය.

සැරසිලි මෝස්තර අතින් ශ්‍රේෂ්ඨතම නිර්මාණ බිහිවනුයේ ද උඩරට රාජධානි සමයේ ය. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි සිය "මධ්‍යකාලීන සිංහල කලා" නම් කෘතියේ සඳහන් කරන පරිදි දිව්‍ය (ඉර, හඳ වැනි සංකේත), සත්ව (මිත්‍ය හා ස්වභාවික සතුන්), උද්භිද (මිත්‍යා හා ස්වභාවික මල්), ජ්‍යාමිතික (බින්දුව, වක, වෘත්ත) වශයෙන් සැරසිලි මෝස්තර කොටස් හතරකට බෙදා දක්වයි. 

උඩරට ලී කැටයම් නිර්මාණාත්මක බවින් ඉහළ අගයක් ගනී. ලක්දිව ඉහළම ලී කැටයම් දැකිය හැක්කේ උඩරටය. ඇම්බැක්ක මීට හොඳම නිදසුනය. මෙහි එන සෑම ලී කැටයමක්ම නිර්මාණාත්මකය. කලාත්මකය. කැටයම්වල නිබඳ පවත්නා මහඟුබව, විවිධත්වය, ද්‍රව්‍යයේ ප්‍රකෘති ස්වභාවයට ඇති සබඳතාවය සිත්ගන්නා සුළුය.

ඇත්දත් කැටයම් ද ඉහළ අගයක් ගනී. පිත්තල කර්මාන්තය ද, දුම්බර රටාවල් යුත් පැදුරු ද, වෙස්මුහුණු ද, කන්ද උඩරට අනෙකුත් ගැමි කලා නිර්මාණ වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017