ආර්ථික රටාව
 
කෘෂිකර්මය

උඩරට ආර්ථකය යැපුම් කෘෂිකර්මය මත පදනම් විය. වී ගොවිතැන ප්‍රධාන විය. ඇල දොළ ගංගා ආදී ස්වභාවික ජල සම්පත්වලින් ලබාගන්නා ජලයෙන් හා අහස් වැස්සෙන් කුඹුරුවලට ජලය ලබා ගැණුනි. යල මහ දෙකන්නයම වගා කෙරුණි. දෙනි හෙවත් කඳුවැටි අතර වූ පටු නිම්න මේ සඳහා යොදා ගැණුනි. භූ විෂමතාවට සරිලන පරිදි හෙල්මළු ක්‍රමයට පඩිපේළියට ආකාරයට ලියැදි සකස්කර තිබුණි. තැනින් තැන වූ තැනිතලා ද සීමිත වශයෙන් වී වගා කරණු දැකිය හැකි විය.

හේන් ගොවිතැන ද උඩරට ආර්ථිකයේ වැදගත් ලක්ෂණයක් විය. අහස් වැස්ස ඒ සඳහා යොදා ගැණුනි. කුරක්කන්, මෙනේරි, තල වැනි ධාන්‍ය වගා කෙරුණි. ගෙවතුවල කොස්, දෙල්, බහුලව දක්නට ලැබුණි.

වෙළඳාම

වෙළඳාම අභ්‍යන්තර, බාහිර වශයෙන් දෙයාකාර විය. අභ්‍යන්තර වෙළඳාම භාණ්ඩ හුවමාරුව මත රදා පැවතුණි. සුලු වශයෙන් කාසි භාවිතය ද විය. රෙදිපිළි, අශ්වයන්, විසිතුරු භාණ්ඩ, වෙඩිලුණු ආනනයනික ද්‍රව්‍ය අතර විය. කුරුදු, ගම්මිරිස්, අලි-ඇතුන්, මුතු, මැණික් අපනයනික ද්‍රව්‍ය අතර විය.

ඉඩම් භුක්තිය

ඉඩකඩම් සියල්ල රජු සතු විය. ඒවා පවරා දෙනු ලබන්නේ රජු විසිනි. එහෙයින් පුද්ගලයකුට ලබාගත හැකි උසස්ම දේපළ ඉඩම් අයිතිය විය. තමාට පවරන ලද ඉඩම සඳහා රජයට සේවය කිරීමට ඉඩම්ලාභියා බැඳී සිටී. එය හදුන්වනු ලබන්නේ රාජකාරිය නමිනි.

බදු අයකිරීම

මැණික් සඳහා ඒකාධිකාරය රජය සතුවිය.

බදු අතර කඳ රාජකාරිය හෙවත් ඉඩම් බද්ද ප්‍රධාන විය. යම්කසි විශේෂ හේතුවක් මත නිදහස් කරණු ලැබූවන් හැර අන් සියලු කුඹුරු හිමියන් විසින් රාජකීය ගබඩාවට සහල් කඳබැගින් ගෙවීම ඉන් අදහස් කෙරේ. මරාළ බද්ද, පත්වීම් දීමේ දී උසස් නිලධාරින් විසින් දෙන ලද තෑගි බෝග, දිසාවෙවරුන් හා අනෙකුත් ප්‍රධානීන් විසින් එකතු කර භාණ්ඩාගාරයට බාරදෙන දැකුම්, ගබඩාවලින් රජයට ලැබෙන වී සහල් රජයට ආදායම් ලැබුණු ප්‍රධාන ආදායම් මාර්ග වේ.

සමාජ සංවිධාන

උඩරට සමාජය රදල, වැඩවසම් පසුගාමි සමාජයක් විය. එය කුල ක්‍රමය මත පදනම් විය. කුලය වෙනස් කළ නොහැකි ඉරණමකැයි සමාජගත කර තිබුණි. උසස් කුලිකයන්ට බැලමෙහෙවර කිරීම තමන් සතු යුතුකමක් ලෙස සැලකුණි.

ගොවිකුලය ප්‍රධානය. ජනගහනයෙන් වැඩි කොටස අයත් වූයේ ද එයටය. ගොවිකුලයේ ද ප්‍රභේද විය. උප සමූහ විය. එහෙයින් එම කුලයට අයත් වූවන් ද එක සමාන කොට නොසැලකුණි. සෙසු සියලුම කුලවල අය හීනකුලයන් ලෙස සැලකුණි.

කුලය මා බැදුණු රාජකාරිය විය. නවන්දන්නා අය වඩු වැඩ හා යකඩ වැඩ කළහ. රජක කුලයේ අය කුලවතුන්ගේ රෙදි සේදූහ. කරාවකුලයේ අය මාළු ඇල්ලූහ. නැකති කුලයේ අය බෙර වැයූහ. කින්නර කුලයේ අය පැදුරු වියූහ.

විවාහය ඥාතීත්වය මත පදනම් විය. හොඳම විවාහය ඇවැස්ස නෑනා හා මස්සිනා අතර විය. විවාහ අතර බහු පුරුෂ විවාහ ද විය. "එකගෙයි කෑම" ලෙස එය හැඳින්විය.

උඩරට සමාජයේ පන්සල හා භික්ෂුව අතර වූ සබඳතාවය සුවිශේෂ වේ. අධ්‍යාපනය, වෙදහෙදකම් පමණක් නොව ජනජීවිතය හා බැදුණු නැකත් කටයුතු ද භික්ෂූන් වහන්සේලා අතින් සිදුවිය.
(c) Shilpa Sayura Foundation 2006-2017