ලන්දේසි පාලනයේ ප්‍රතිඵල
 
සාමාජීය වශයෙන්
     * රෝම ලන්දේසි නීතිය හඳුන්වාදීම

රෝම ලන්දේසි නීතිය හඳුන්වා දෙනු ලැබුවේ ලන්දේසින් විසිනි. 1665 දී බතාවියාව මගින් මෙරට නීතික්‍රමය ලෙස ප්‍රකාශයට පත් කරණු ලැබීය. ආරම්භයේ දී මෙම නීති ක්‍රමය හේතු කොටගෙන විවිධ සමාජ ප්‍රශ්න පැන නැගුන ද පසුව ජනතාව ඊට අනුගත වෙමින් කටයුතු කරණු දැකිය හැකිය.

මුලදී ක්‍රිස්තියානින් හා ලන්දේසි සඳහා වලංගු වූ මෙය 1796 දී මුළු ලක්දිව පුරාම සම්මත නීති ක්‍රමයක් ලෙස ප්‍රකාශ කෙරුණි. දේපළ උරුමය, ඉඩම්, විවාහ, දික්කසාද ආදිය ගැන සම්මත නීති මෙයින් ඇතිවිය.

* නව උසාවි පද්ධතියක් හඳුන්වාදීම
                  රෝම ලන්දේසි නීතිය හඳුන්වාදීමත් සමඟ නව උසාවි පද්ධතියක් ද හඳුන්වා දෙනු ලැබීය. ප්‍රධාන උසාවිය වූ රාද් වැක් ජස්ටිස් හි අපරාධ හා සිවිල් නඩු ද, අභියාචනා ද, ලෑන්ඩ්රාද් උසාවියේ ඉඩම් නඩු ද, සිවිල් රාද් උසාවියේ සාමාන්‍ය අපරාධ නඩු ද විසදනු ලැබීය.

* තෙසවලමෙහි නීතිමාලාව යාපන ප්‍රදේශයේ සම්මත වීම
                    උතුරු ප්‍රදේශයේ ජනතාවගේ චාරිත්‍ර වාරිත්‍ර පදනම් කොටගෙන (ණය ගණුදෙනු, විවාහ අයිතීන්, වගකීම්, දරුවන් හදා ගැනීම්, උරුමය) භාවිතා වුණු සම්මතයන් ආශ්‍රිතව මෙය සකස් කරණු ලැබුවේ ජොහැන්නස්සීමන්ස් ආණ්ඩුකාරයා විසිනි.

* මුද්‍රණ ශිල්පය හඳුන්වාදීම
           මුද්‍රණ ශිල්පය මෙරටට හඳුන්වා දෙනු ලැබුවේ ද ලන්දේසින් විසිනි. එතෙක් මෙරට භාවිතා වූයේ තල්පත් මත පන්හිඳෙන් අකුරු ලියන ක්‍රමයයි.

* සංවිධාන වූ පාසල් ක්‍රමයක්
           පෘතුගීසි මෙන්ම ලන්දේසින් ද තමනට පක්ෂපාති පිරිසක් සකස් කරගැනීම සඳහා යොදාගනු උපක්‍රමය වූයේ අධ්‍යාපනයයි. පල්ලියක් ආශ්‍රිතව පාසලක් තැනීමත්, ආගමික අධ්‍යාපනයක් ඒ තැන්වලින් ලබාදීමත්, ඒ අයට වරප්‍රසාද ලබාදීමත් මෙමගින් සිදු කෙරිණි.

ස්කොලාකල් කොමිසම අධ්‍යාපනයට සම්බන්ධ අංශය විය. එහි ශාඛා තුනක් කොමන්ඩරි තුනට විය. දිසාව හා නිලධාරින් ඊට සම්බන්ධ විය. ස්වභාෂා පාසල් මෙන්ම ආධාර ලබන පාසල් ද ඔවුන් යටතේ ක්‍රියාත්මක විය.

අධ්‍යාපන කටයුතු සඳහා දිවයින පැරිෂ් (ප්‍රදේශ) රාශියකට බෙදා තිබුණි. පැරිෂ (ප්‍රදේශයක) අධ්‍යක්ෂ වූයේ යුරෝපා දේවගැතිවරයකි. උසස් අධ්‍යාපනය ලබාදුන් ආයතන සෙමනේරි වශයෙන් හැඳින්වුණි.

* බර්ගර් නමින් ජනවාර්ගික පිරිසක් එකතු වීම
                  බර්ගර් නමින් ජනකොටස් ලාංකික ජන කොටස් අතරට එක්වනුයේ ලන්දේසි සමයේය. මීට අමතරව හෙට්ටි, පරවර්, කොච්චි ආදී ජන කොටස් ද බහුල වශයෙන් මෙකල මෙහි පදිංචි වනු දැකිය හැකිය. අතීතයේ දී ද මෙවැනි ජන කොටස් පැමිණිය ද ඔව්හු දේශීය ජන කොටස් සමඟ මිශ්‍ර විය. එහෙත් මෙකල පැමිණි ජන කොටස් දේශීය ජනතාවට නොව යටත් විජිතවාදිනට සමීප විය. එමෙන්ම ඔව්හු වැඩි දෙනා ක්‍රිස්තියානි ආගම වැළඳගත් අතර විශේෂ වරප්‍රසාද ලත් අය ද වූහ.
(c) Shilpa Sayura Foundation 2006-2017