ලන්දේසීන් ලංකාවට පැමිණීමට හේතු
 
* යුරෝපයේ ඇති වූ තත්ත්වයන්

1. ඕලන්දය ස්පඤා්ඤය සමඟ ගෙනයමින් තිබූ නිදහස් සටනට එරෙහිව ස්පඤා්ඤයේ දෙවන පිලිප් රජු ආර්ථික සම්බාධක පැනවීම හේතු කොටගෙන ලන්දේසීන්ට පෙරදිගින් ගෙනෙන භාණ්ඩ විකිණීම තහනම් කෙරුණි. එබැවින් එම ද්‍රව්‍ය හා භාණ්ඩ ලබාගැනීම සඳහා විකල්ප ක්‍රියා මාර්ගයක් ගැනීමට ලන්දේසිනට සිදුවීම. 

2. 1588 දී ඉංග්‍රීසි නාවිකයනට ස්පඤා්ඤය පරාජය කිරීමට ලන්දේසි සහාය ලැබුණි. ඒ හේතුකොටගෙන අත්ලාන්තික් සාගරයේ නිදහස් නැව් ගමනාගමනයට අවස්ථාව සැලසීම.

3. ඉන් උද්දාමයට පත් ලන්දේසීහු පෘතුගීසි විජිතවල සේවය කළ ලන්දේසි නැවියන් කැඳවා ගත්හ. ඔවුන් යොදාවා 1595 දී ඉන්දියානු සාගරයට ඇතුල් වී කුළුබඩු දූපත්වලට ළඟා වූහ.

* පෙරදිග වෙළඳ ආධිපත්‍යය තමන්වෙත ලබා ගැනීම

1. මේ වන විට පෙරදිග මුළු වෙළඳ ඒකාධිකාරයම පෘතුගීසීන් සතුව පැවතුණි. බටහිරට අවශ්‍ය සියලු ද්‍රව්‍ය සැපයුවේ ඔවුන්ය. එබැවින් එම වෙළඳ ඒකාධිකාරය තමන් සතු කරගත යුතු විය. 1602 දී පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම බතාවිය මුල්කර ගෙන පිහිට වූයේ එහෙයිනි.

2. නැගෙනහිර ලෝකයේ ඉතාම ඉහළ මටිටමේ කුරුඳු නිෂ්පාදනය කළ ප්‍රධාන රට ලංකාව ය. එහෙයින් ලංකාව සමඟ සබඳතා ගොඩනගාගෙන  තමන් වෙත මෙහි වෙළඳ ඒකාධිකාරය ලබාගත යුතු විය. ලන්දේසීන් හා පෘතුගීසීන් අතර ලංකාවේ පැවති සටන්වල හරය වූයේ කුරුඳුය. විමලධර්මසූරිය රජු සමයේ ස්පිල්බර්ජන්ගේ පැමිණීමේ සිට දෙවන රාජසිංහ වෙස්ටර්වෝල්ඩ් ගිවිසුම දක්වා සියලු කටයුතු සිදුවූයේත් අනතුරුව ගිවිසුම උල්ලංඝණය කර ඒ ප්‍රදේශවල පාලනය සියතට ගනුයේත් මෙම වෙළඳ ඒකාධිකාරය තමන් වෙත ලබාගැනීමේ අටියෙනි.

* තම ආගම වූ රෙපරමාදු ආගම පැතිරවීම

1. අපි ක්‍රිස්තු භක්තිකයන් හා කුළුබඩු සොයා පැමිණියෙමු යැයි පෘතුගීසීන් මෙන් ලන්දේසීන් නොකීවද පෘතුගීසීන් පසු පස මෙන්ම ලන්දේසීන් පසු පසද මිෂනාරිවරුන් එනු දැකිය හැකිය.

2. පෘතුගීසීහු කතෝලිකයන් වූ අතර ලන්දේසීහු රෙපරමාදු වූහ. කතෝලික ආගමේ තරම් රෙපරමාදු ආගමේ අන්‍යාගමිකයෝ තම ආගමට හරවා ගැනීමේ අදහස බලවත්ව නොපැවතියද ලන්දේසින් රෙපරමාදු ආගම ප්‍රචාරණයේ යෙදෙනු දැකිය හැකිය.

(c) Shilpa Sayura Foundation 2006-2017