නායක්කාර් රජවරු
  නරේන්ද්‍රසිංහ රජු අපුත්‍රකව මිය ගියේය. එබැවින් ඊළඟට රජකමට පත්වනුයේ ඔහු විවාහකරගෙන සිටි නායක්කාර් වංශික බිසවකගේ සහෝදරයා වූ ශ්‍රී විජය රාජසිංහය (1739-1747). වැලිවිට සරණංකර මාහිමිපාණන්ගේ ශිෂ්‍යයෙක් වූ එතුමා සැදැහැවත් බෞද්ධයෙකි. ලන්දේසි විරෝධි ප්‍රතිපත්තියක් අනුගමනය කළ අයෙකි.

ශ්‍රී විජය රාජසිංහයන්ට ද දරුවන් නොමැති වූයෙන් එතුමාගේ මරනින් පසු රාජ්‍යත්වයට පත්වන්නේ බිසවගේ සහෝදරයා වූ කීර්ති ශ්‍රී රාජසිංහය (1747-1782). එවිට ඔහුගේ වයස අවුරුදු 13කි. ඔහු ද වැලිවිට සරණංකර හිමිපාණන්ගේ උපදෙස් පරිදි සියම් දේශයෙන් භික්ෂූන් ගෙන්වා උපසම්පදාව යළි පිහිට වූයේය. වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කළේ්‍ය. වැලිවිට සරණංකර හිමියන් සඟරජ තනතුරේ පිහිටවූයේ ය. 

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ඇවෑමෙන් එතුමාගේ සහෝදර රාජාධිරාජසිංහ (1782-1798) රජ විය. ලන්දේසින්ගෙන් මුහුදුබඩ පෙදෙස් අල්ලා ගනුයේ මේ රජුගේ කාලයේදී ය. රාජාධිරාජසිංහ රජුගෙන් පසු රජ වන්නේ එතුමාගේ මෙහෙසියගේ සහෝදරියකගේ පුතෙකු වන ශ්‍රී වික්‍රම රාජසිංහ (1798-1815). කණ්නසාමි නම් වූ ඔහුට පිළිගත් නීතිය අනුව රාජ්‍යයට හිමිකමක් නොතිබුණි. හිමිකම් ඇති පුද්ගලයින් සිටිය දී පිළිමතලාවේ මහ අදිකාරම් විසින් මොහු රජකමට පත්කළේ තමා රජවීමේ යටි අදහසිනි.

පිළිමතලාවෙට සිය අදහස ඉටුකර ගැනීමට නොහැකි විය. රජු වැනසීමට යෙදූ උපායක් හෙළිවීමෙන් පිළිමතලාවෙගේ හිස ගසා දැම්මේය. ඔහුගෙන් හිස් වූ මහාධිකාරම් ධූරයට ඔහුගේ බෑණා වූ අහැළේපොළ පත් කෙරුණි. එය අනෙක් රදලවරුන් නුරුස්සන්නක් විය. එහෙයින් ඔවුහු ඇහැළේපොළට විරුද්ධව රජුට ගතු කීහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇහැළේපොළ තනතුරෙන් පහකර මොල්ලිගොඩ එම ධූරයට පත් කළේය. ඇහැළේපොළ ඉංග්‍රීසින්ට එක්විය.

ඇහැළේපොළට විරුද්ධව කිසිවක් කිරීමට නොහැකි වූ තැන ඇහැළේපොළගේ අඹු දරුවන් අමානුෂික වධයට පත්කර මරාදමනු ලැබීය.

මේ සිද්ධියත් සමඟ සිංහලයන් දැඩිලෙස සසල විය. ඔවුහු රජු කෙරේ බිඳුනාහ. උපායශීලි වූ ඉංග්‍රීසින් කන්ද උඩරට සිදුවූ මේ පෙරළිය හොඳින් අධ්‍යයනය කර උඩරටට එරෙහිව ආක්‍රමණයක් මෙහෙයවීය.

රට ගැනීමේ අදහසින් පැමිණි කිසිම ජාතියකට මෙතෙක් තමන්ගේ රාජධානියට අනවසරයෙන් පා තැබීමට කිසිවෙකුට ඉඩ නුදුන් සිංහලයෝ  එදා දැඩි ලෙස නිහඬ වූහ. රජු පලා ගියේය. පලාගිය රජු 1815 පෙබරවාරි 18 දා උඩුදුම්බර ඌරුගල බෝමුරේ උඩුපිටියේ ගම්හේවලාගේ නිවසේ දී ඉංග්‍රීසින් අතට පත්විය. (රජු ඉන්දියාවට ගෙනයන ලදුව වෙල්ලෝර්හිදී වසර 17ක් සිරදඬුවම් විදිමින් සිටිය දී උදරාබාධයක් සෑදී මිය ගියේය).

1815 මාර්තු තුන්වැනි දින මහනුවර මඟුල් මඬුවේ දී උඩරට රදල ප්‍රධානිහු ගිවිසුම් පත්‍රයක් පිට එංගලන්තයේ තුන්වෙනි ජෝර්ජ් මහරජුට සිංහලය පාවාදුන්හ. ඒ වනාහි සිංහල රාජ්‍යයේ අවසානයයි...
(c) Shilpa Sayura Foundation 2006-2017