ඉංග්‍රීසි ජාතිකයන් ඇමරිකාවේ ජනපද පිහිටුවීම
  15 වන සියවසේ අවසාන භාගය පමණ වන විට එංගලන්තය ද දේශගවේෂණ කටයුතු සඳහා අවතීර්ණ වනු දැකිය හැකිය. අත්ලාන්තික් සාගරය හා ඉන්දියාවට නව මඟක් සෙවීමේ උනන්දු වූ හත්වන හෙන්රි රජතුමා ඒ සඳහා ඉතාලි ජාතික ජෝන් කැබටි යෙදවීය.

1497 දී ගමන ආරම්භ කළ ජෝන් කැබටි අත්ලාන්තික් සයුර තරණය කොට නිවුපවුන්ඩිලන්තය අසල පිහිටි කේප්බ්‍රිටන් දිවයිනට ලඟා විය. ඔහු සිතුවේ තමා චීනයට ලඟා වී ඇති බව ය. එහෙත් ඔහු පැමිණ සිටියේ චීනයට නොව කැනඩාවට ය. උතුරු ඇමරිකාවේ විශාල පෙදෙසට ඉංග්‍රීසි ජාතිකයනට අයිතිවසිකම් කීමට අවස්ථාව සැලසුනේ ජෝන් කැබටිගේ මෙම දේශ ගවේෂණ හේතුවෙනි.

ප්‍රැන්සිස් ඩ්‍රේක්, ගිල්බට්, වෝල්ටර් රැලේ වැනි ඉංග්‍රීසි ජාතිකයන් ද උතුරු ඇමරිකාවේ නැගෙනහිර වෙරළ ඔස්සේ ප්‍රදේශ ගවේෂණය කිරීම නිසා ශාන්ත ලෝරන්ස් සිට ප්ලොරිඩාව දක්වා ප්‍රදේශවලට අයිතිවාසිකම් කීමට ඉංග්‍රීසින්ට හැකිවිය.

1607 දී වර්ජිනියා ප්‍රදේශයේ පිහිට වූ ජේම්ස් ටවුන් ජනපදය ඇමරිකා එක්සත් ජනපදයේ පිහිට වූ ප්‍රථම ඉංග්‍රීසි ජනපාය වේ. 1620 දී මැසවුසෙට් ජනපාය පිහිටවනු ලැබීය. මැසවුසෙට්හි ආර්ථික සාර්ථකත්වය නැගෙනහිර වෙරළේ තවත් ජනපද පිහිටුවීම ධෛර්යමත් කළේය. 1681 විලියම් පෙන් පෙනිසිල්වේනියා ජනපදය පිහිටුවීය. මේ අයුරින් ජනපද 13ක් පිහිටවනු ලැබීය. වර්තමාන ඇමරිකාඑක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ දිගේ මෙම ජනපද පිහිටුවන ලද්දේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් අවසරය ලබාගත් බද්ධ සමාගම විසිනි.

මෙම ජනපද පාලනය කළේ බ්‍රිතාන්‍යයේ මහරජු විසින් පත්කළ ආණ්ඩුකාරවරයෙකු හා උපදේශක මණ්ඩලයක් විසිනි. බ්‍රිතාන්‍යයේ අරමුණ වූයේ මෙම ජනපදවලින් තම කාර්මික නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ලබාගැනීම හා කාර්මික නිෂ්පාදන අලෙවියට වෙළෙඳ පොළක් සදාගැනීමයි. බ්‍රිතාන්‍ය නිෂ්පාදනවලට තරඟයක් එල්ලවන භාණ්ඩ නිපදවීම ජනපදිකයන්ට තහනම් විය. 

මේ ජනපද පිහිටවූයේ දේශීය රතු ඉන්දියන්වරුන්ගේ මෙන්ම ප්‍රංශ ජාතිකයන්ගේ ද තර්ජන මධ්‍යයේ ය. ප්‍රංශ ජාතිකයන්ගෙන් අයකළ යුතු බව තර්ජනය කොතරම් ප්‍රබලවීද යත් එය ඉංග්‍රීසියෙන් හා ප්‍රංශය සත් අවුරුද්දක් (1756-1763) තිස්සේ පැවතුණු යුද්ධයක් බවට පත් විය. යුද්ධයෙන් ප්‍රංශය ජරාජයට පත්විය.

සත් අවුරුදු යුද්ධයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුව එම ජනපදවලට ආරක්ෂාව සලසා දුන් හෙයින් ඒ සඳහා ගිය වියදම ජනපද වාසීන්ගේ අයකළ යුතු බව බ්‍රිතාන්‍යයේ අදහස විය. ඔව්හු ඒ සඳහා නව බඳු පැනවීය. නාවික අණපනත් සංශෝධනය කළේය.

යුද්ධ සඳහා යන වියදම පමණක් නොව හමුදාවද ජනපදවාසීන් විසින් සපයන ලද බැවින් මෙලෙස බදු අය කිරීම නොකළ යුතු බව ජනපද වාසීන්ගේ තර්කය විය. 

එහෙයින් ජනපද වාසීහු ඊට එරෙහිව නැගී සිටියහ. සීනි පනත, මුද්දර පනත, වැනි අණ පනත්වලට මුලින්ම විරෝධතා එල්ල විය. 1773 දී බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව බොස්ටන් වරායේ නවතා තිබූ නැව්වලට පහරදීමෙන් ඇරඹි "බොස්ටන් තේ සාදය" නමින් හඳුන්වනු ලබන සිද්ධියත් සමඟ ඇමරිකානු නිදහස් සටනට මඟ පෑදුණි. එය අවසන් වූයේ ජනපද 13නේ බ්‍රිතාන්‍ය පාලනය අහෝසි වීමෙනි.
(c) Shilpa Sayura Foundation 2006-2017