යුරෝපා ජාතීන් ඇමරිකාවට සංක්‍රමණය වීමට හේතු
  15 වන සියවසේ මැද භාගය (1450) පමණ වන තෙක් යුරෝපය බෙහෙවින් හුදකලාව වූ, වැඩවසම් ක්‍රමයේ ගොවිතැනින් යැපුණු රදල පාලනයට යටත් වූ මහාද්වීපයක් විය. ඔවුනට අවශ්‍ය සියලු භාණ්ඩ සැපයුනේ පෙරදිගිනි. ගොඩබිම් මාර්ගවලිනි.

1453 දී කොන්ස්තන්තිනෝපලය ඔටෝමන් තුර්කිවරුන් විසින් අල්ලාගැනීම හේතු කොටගෙන ඔවුන් ගොඩබිම ඔස්සේ පෙරදිගට පැමිණීමේ මාර්ග සෙවීමේ උත්සහායක නිරත විය. දේශ ගවේෂණය එහි ප්‍රතිඵලයයි.

මේ අතර 1492 දී කොලොම්බස් එවකට කිසිදු තොරතුරක් නොදැනසිටි අප්‍රසිද්ධව තිබූ අත්ලාන්තික් සාගරය හරහා ඉන්දියාවට පැමිණීමට කෙටි මඟක් සොයනු පිණිස යාත්‍රා කිරීම ඇරඹීය. ඔහුට ප්‍රථම ගමනින්ම ඉන්දියාවට නොව බහමා දිවයිනට ළඟා වීමට හැකිවිය. එය ඉන්දියාව යැයි ඔහු සිතුවේය. තවත් ගමන් වාර තුනක් ඒ මඟ ඔස්සේ ම ගිය ඔහු තවත් දිවයින් සොයාගත් අතර කොළොම්බස් එහි තත්ත්වයන් ලොවට හෙළි කළේය. එය දේශ ගවේෂණ කටයුතුවල නව පිටුවක් පෙරලූ අතර යුරෝපීය ජාතීන්ගේ අවධානය පුළුල් ලෙස ඒ කෙරේ යොමුවීමට හේතු විය.

ඒ ඔස්සේ තවදුරටත් පරීක්ෂණ කළ ඇමරිගෝ වෙස්පූසී මෙම නව මහද්වීපය (ඇමරිකාව) සොයා ගත්තේය. මේ සඳහා බලපෑ දේශපාලන, ආර්ථික, සාමාජික, ආගමික කරුණු මෙසේ කැටිකර දැක්විය හැකිය. 

දේශපාලන:
* දේශ ගවේෂණවල යෙදිය හැකි ප්‍රබල ජාතික රාජ්‍යය බිහිවීම.
* දේශපාලන නායකත්වයෙන් ඒ සඳහා ලැබුණු පූර්ණ අනුග්‍රහය.
* නව ප්‍රදේශ සොයා යාමේ ඒ ඒ රාජ්‍යය අතර වූ තරගය හා එතුළින් ලැබෙන කීර්තිය.
* රට තුළ තිබූ පීඩනය අවම වීම.

ආර්ථික:
* එම රටවල තිබූ රන් ආකර ඇතුලු භෞතික සම්පත් හිමිකර ගැනීම.
* එමඟින් තම රටවල ආර්ථිකය ශක්තිමත් කිරීම.
* ගොවිතැන වෙනුවට වෙළඳාම් මුල්කරගත් නව අර්ථක්‍රමයකට යොමුවීම.
* එංගලන්තයේ ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය වැනි තත්ත්වයන් මතුවීම නිසා විරැකියාව බහුල වීම.

සාමාජික:
* කතෝලික රෙපරමාදු ආගම් අතර ගැටුම්.
* එම ආගමික ගැටුම් වලින් පීඩාවට පත් වූ කොටස් ඉන් බේරීම සඳහා එම රාජ්‍ය අතහැර යාම.
* තම ආගම් තවදුරටත් යටත් ප්‍රදේශවල ව්‍යාප්ත කිරීම.
(c) Shilpa Sayura Foundation 2006-2017