රතු ඉන්දියන්වරු
 
1492 දී නවලෝකයක් සොයා අත්ලාන්තික් සාගරයට ගිය කොලොම්බස් බහමා දූපතට පාතබත්ම තමා සොයාගත්තේ ඉන්දියාව යැයි සිතා එහි ජනතාව ඉන්දියානුන් යැයි හඳුන්වනු ලැබීය. මොවුන්ගේ පැහැය ඉන්දියානුවන්ට වඩා රතු වූ හෙයින් රතු ඉන්දියානුවරුන් යැයි දිගටම හඳුන්වනු ලැබීය.

දැනට සොයාගෙන ඇති තොරතුරු අනුව රතු ඉන්දියානුවන්ගේ ආදි මුතුන් මිත්තන් උතුරු ඇමරිකාවට ආවේ ආසියාවෙනි. කාලය ක්‍රි.පූ. 60,000ටත් 35000ටත් අතර කාලයේ යැයි සැලකේ. අවසන් හිම යුගය පැවති කාලයේ සයිබීරියාවත් ඇලස්කාවත් අතර ගොඩබිමෙහි මුහුදු මට්ටම පහත් වීමෙන් මතු වූ ගොඩබිම් පාලමකින් උතුරු ඇමරිකා භූමියට ගොඩවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙහි පැමිණි පිරිස් ඇමරිකා මහාද්වීප පුරාම සියළුම පරිසර පද්ධතිවලත්  ඒ අවට දූපත්වලටත් පැතිර ගියහ. තැනින් තැන යමින් දඩයම් කරමින් මාළු අල්ලමින් දිවිගෙවූහ. වනගත පෙදෙස්, කඳුකර පෙදෙස්, වනාන්තර, තැනිතලා, ගංඟානිම්න, තණ බිම් ආදී විවිධ පෙදෙස්වල පැතිරිණු මොවුහු විවිධ භාෂා කතාකරන්නට වූහ.

ගොවිතැන ජීවන මාර්ගය කරගත් මොවුහු අල, බතල, බඩඉරිඟු, රටකජු, ගම්මිරිස්, තක්කාලි ආදිය වගා කළහ. දැනට කැනඩාවේ තුන් ලක්ෂයක් ද, ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන 1.6ක් ද, ලතින් ඇමරිකාවේ මිලියන 12ක් පමණ ද ජීවත් වේ.

රතු ඉන්දියන්වරු අතිශය පරිසර හිතකාමි ජනතාවක් වූහ. ඔවුන්ගේ නිජබිම් වලින් අවිබලයෙන් පලවාහැර එම පෙදෙස් අල්ලා ගැනීමට සමත් වුවද යුරෝපීහු රතු ඉන්දියානුවන්ගේ නිරන්තර ප්‍රහාරවලට ලක්වූහ. මේ ගැටුම සමථයකට පත් කරනු පිණිස එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වූ ප්‍රැන්ක්ලින් පියර්ස් තම භූමිය ඇමරිකානු රජයට විකුණන ලෙස රතු ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කළේය. ඊට පිළිතුරු වශයෙන් නායක සියැටල් විසින් 1854 දී කරන ලද දීර්ඝ කතාවෙන් උපුටාගත් මේ ප්‍රකාශයෙන් ඔවුන් කෙතරම් පරිසර හිතකාමිද යන්න පැහැදිලි වේ.

"අන්තිම රතු මිනිසාත් මේ පොළෝ තලෙන් අතුරු දහන් වූ විට ඔවුන්ගේ මතයට තණබිම් හරහා පාවෙන වලාකුළක ඡායාවක් බවට පත් වූ විට මෙම තැනිතලා වනපෙත් මගේ මිනිසුන්ගේ ජීවන සුවඳ ඉදිරියටත් රඳවා ගනු ඇත. අපගේ මිනිසුන් මේ භූමියට ආදරය කළේ කිරි දරුවෙකු තම මවගේ හදවතේ රිද්මයට ආදරය කරන්නාක් මෙනි."
(c) Shilpa Sayura Foundation 2006-2017