පෘතුගීසීන් හා යාපන රාජ්‍යය
 
පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට යාපනයේ පාලකයා වූයේ පරරාජ සේකරම්ය. 1519 දී ඔහු මරා සංකිලි රජවිය. 16 වන සියවසේ මුල් දශකයේ දී පෘතුගීසීහු යාපන රාජ්‍යය කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදැක්වූහ. ඔවුන්ට අවශ්‍ය කුළුබඩු එහි නොතිබීම ඊට හේතුවිය.

එසේ වුවත් ඔවුන්ගේ වෙළඳ ද්‍රව්‍ය රැගත් නැව් පෝක් සමුද්‍ර සන්ධිය හරහා යෑමේදී යාපනයේ පාලකයාගෙන් තර්ජන එල්ල විය. මුහුදේ දී විනාශවන නැව්වල බඩු රාජසන්තක කිරීම පුරාණයේ සිට පැවත ආ සිරිතකි. මන්නාරම් වරාය තුළ දී මෙවැනි සිදුවීම් ගණනාවක් සිදුවිය. පෘතුගීසීන් මෙය සැලකුවේ මුහුදු කොල්ලකෑමක් ලෙසිනි. එහෙයින් යාපාපටුන කෙරේ ඔවුන් උනන්දු වූයේ මන්නාරම් වරාය හරහා යාත්‍රා කළ නැව්වලට ආරක්ෂාව සැපයීමටය.

1543 දී සංකිලිට විරුද්ධව ප්‍රථම ආක්‍රමණය එල්ල විය. මෙම ආක්‍රමණය මෙහෙයවූයේ ගෝවේ ආණ්ඩුකාරයා විසිනි. ආක්‍රමණය අතර මඟ නැවැත්වූ හෙතෙම වාර්ෂිකව පර්දාවෝ 5000ක් හා ඇතුන් දෙදෙනෙකු කප්පමක් වශයෙන් ගෙවන ලෙස ද නොගෙව්වොත් යාපනය ආක්‍රමණය කරන බව ද දැන්වීය. සංකිලි රජු ඊට එකඟවිය.

ඊළඟ වර්ෂයේ මන්නාරමට පැමිණි ප්‍රැන්සිස් ක්ෂේවියර් ධීවරයන් විශාල සංඛ්‍යාවක් බෞතීස්ම කළේය. කෝපයට පත් සංකිලි හමුදාවක් යවා ආගම හැරදමා යළි තම සම්ප්‍රදායික ආගම වැළඳ ගන්නා ලෙස නියෝග කළේය. එසේ නොකළ අය ඝාතනය කළේය. 1561 දී සංකිලිට බලය අහිමි විය. ඊට පසු ඔහු පුත් පුවිරාජ පණ්ඩාරම් රජු වුවද යාපන රාජ්‍යය තුළ නිරතුරු අරගල ඇතිවිය. පෘතුගීසීන් ඊට මැදිහත් විය.

රජ පවුලට සම්බන්ධ අය පෘතුගීසීන් විසින් තමන්ට අවශ්‍ය පාලකයන් ලෙස පත් කරණු ලැබීය. 1619 දී දේශීය රාජතත්වය සම්පූර්ණයෙන් අහෝසිකර යාපාපටුන තමන් විසින් කෙලින්ම පාලනය කරණු ලබන ප්‍රදේශයනට ඈදා ගත්තේය.
(c) Shilpa Sayura Foundation 2006-2017