පෘතුගීසීන් හා කෝට්ටේ රාජ්‍යය
  පෘතුගීසීන් හා කෝට්ටේ රාජ්‍යය අතර මුල් යුගයේ සබඳතා හුදෙක් වෙළඳ කටයුතුවලට පමණක් සීමා විය. ගෙරිහම්කඩක පමණ බිම් කොටසකුත් කෝට්ටේ රාජ්‍ය තුළ වෙළඳාම් කිරීමට රජුගේ අවසරයත් ඉල්ලා සිටියේ එහෙයිනි. එහෙත් ඔවුන් අවිගත් වෙළඳුන් විය.

කොළඹ තැනූ කොටුවේ ආරක්ෂාවට අවිගත් සෙබළුන් යෙදවීම හේතුවෙන් පෘතුගීසීන් හා කොළඹ ජනතාව අතර ආරවුල් රැසක් මතුවිය. මෙහි ප්‍රතිඵලය වූයේ 1524 දී ඔවුන් කොළඹ කොටුව බිඳ දැමීමයි. ගිනි ලෑමයි.

මේ අතර කෝට්ටේ බුවනෙකබාහු රජු හා සීතාවක කිරුළ දැරූ මායාදුන්නේ රජු අතර වූ හොඳ හිත පළුදු විය. මෙහිදී කෝට්ටේ රජුගේ සිහසුන ආරක්ෂාකර දීමේ කාර්යය පෘතුගීසීන්ට පැවරුණි. එම කාර්යයට කප්පමක් ලෙස කුරුඳු බහාර් 300ක් දීමට රජු එකග විය. සිය සොහොයුරාගෙන් එන තර්ජන හමුවේ මෙවන් තීරණයකට බුවනෙකබාහු රජු එළඹියද ඔහු කිසිදු විටක පෘතුගීසීන් හමුවේ කොන්ද නැමුවේ නැත. 

බුවනෙකබාහුගෙන් පසු 1551 දී කෝට්ටේ රජවන්නේ ඔහුගේ මුනබුරු දොන් ජුවන් ධර්මපාලය. හෙතෙම පෘතුගීසීන් අත රූකඩයක් විය. 1557 දී හේ කතෝලිකාගම වැළඳ ගත්තේය. ධර්මපාල දොන් ජුවන් පෙරියබණ්ඩාර විය. බෞද්ධ නොවන්නෙකුට සිංහලේ කිරුළ අහිමි බව එදා පිළිගත් මතය විය. ජනතාව මායාදුන්නේ රජු දෙසට හැරුණි. කෝට්ටේ අගරජු ලෙස පිළිගැනීමේ තත්ත්වය ද ඒ සමඟ බඳවැටුණි. 

මේ අතර මායාදුන්නේ රජු කෝට්ටේ ආක්‍රමණය කළේ ය. දොන්ජුවන් පෙරියබණ්ඩාර පෘතුගීසීන්ගේ ආරක්ෂාව පතා කොළඹට ගියේය. එතැන් සිට රජු නාමමාත්‍ර විය. පෘතුගීසීහු ඔටුණු නොපළ රජුන් වූහ. 1580 අගෝස්තු මස 12 වන දින දොන් ජුවන් පෙරියබණ්ඩාර කෝට්ටේ රාජ්‍යය තෑගි ඔප්පුවකින් සිය කැමැත්තෙන් පෘතුගීසීන්ට පැවරුවේය. ඔහුගේ මෙම අදුරදර්ශී ක්‍රියාව හේතුකොටගෙන කෝට්ටේ රාජ්‍යයේ නීත්‍යානුකූල බලය පෘතුගීසීන්ට පැවරුණි.   

1597 දී දොන් ජුවන් පෙරියබණ්ඩාර මිය ගියේ සියල්ල අහිමි වූවෙකු ලෙසිනි. ඔහුගේ මරණින් ගතවූයේ දින දෙකක් පමණී. සියලු වගකිව යුත්තන් මල්වානට රැස්කළ කපිතාන් දොන් ජොරමනිමෝද අසවේදෝ තෑගි ඔප්පුව අනුව පෘතුගාලේ රජු මෙතැන් සිට කෝට්ටේ රාජ්‍යයේ රජු බවට ප්‍රකාශ කළේ ය. මෙතැන් සිට කෝට්ටේ රාජ්‍යයේ පාලන කටයුතු පෘතුගීසීන් අතට පත්විය.
(c) Shilpa Sayura Foundation 2006-2017