1453 දී කොන්ස්තන්තිනෝපලය ඉස්ලාම් භක්තික තුර්කිවරුන් යටතට පත්විය. එහි ප්‍රතිඵලය වූයේ යුරෝපීය ජාතීන්ට යුරෝපයෙන් පිටතට පැමිණීමට තිබූ ඉඩකඩ ඇහිරීමයි. එහෙයින් යුරෝපයෙන් පිටතට පැමිණීමට නම් නව මං සෙවිය යුතු විය. ආසියා, අප්‍රිකා ප්‍රදේශවලට ඔවුන්ගේ අවධානය යොමුවුණේ එලෙසිනි.
15 වන සියවසේ අවසාන භාගයේ පමණ පෙරදිගට පැමිණි යුරෝපීය ජාතීන් අතර පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි් ජාතීහු ද වූහ. ඒ සඳහා ඔවුනට බලපෑ හේතු කීපයක් ද තිබුණි.
1. ආර්ථික ලාභ ප්‍රයෝජන ලබාගැනීම
මේ වන විට ආසියාවේ මුළු වෙළඳ ඒකාධිකාරයම මුස්ලිම්වරුන් යටතේ පැවතුණි. බටහිරට අවශ්‍ය සියලු ද්‍රව්‍ය සපයන ලද්දේ ඔවුන් විසිනි. එබැවින් එය තමන් යටතට ගතයුතු විය.
15 වන සියවසේ අවසාන භාගයේ පමණ පෙරදිගට පැමිණි යුරෝපීය ජාතීන් අතර පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි් ජාතීහු ද වූහ. ඒ සඳහා ඔවුනට බලපෑ හේතු කීපයක් ද තිබුණි.
1. ආර්ථික ලාභ ප්‍රයෝජන ලබාගැනීම
මේ වන විට ආසියාවේ මුළු වෙළඳ ඒකාධිකාරයම මුස්ලිම්වරුන් යටතේ පැවතුණි. බටහිරට අවශ්‍ය සියලු ද්‍රව්‍ය සපයන ලද්දේ ඔවුන් විසිනි. එබැවින් එය තමන් යටතට ගතයුතු විය.
2. ආගම ප්‍රචාරය කිරීම
යේසුස් වහන්සේගේ ජන්ම භූමිය වූ ශුද්ධෝත්තම ජේරුසලම මුස්ලිම්වරුන් අතට පත්වීම හේතු කොටගෙන වැදපුදා ගැනීමේ තිබූ නිදහස අහිමි විය. අලුත බිහි වූ ඉස්ලාම් දහමද ක්‍රිස්තුධර්මයට විශාල තර්ජනයක් විය.
3. දේශපාලන වශයෙන් ජාත්‍යන්තර කීර්තිය දිනාගැනීම
මුස්ලිම්වරුන් අරාබි ලෝකය කේන්ද්‍ර කොටගෙන අධිරාජ්‍යයක් ගොඩනැගීම ද බටහිර ජාතීන්ට විශාල අභියෝගයක් විය.
පෙරදිගට පැමිණීමේ නවමාර්ග සොයාගැනීමේ පියා වශයෙන් සැලකෙනුයේ පෘතුගාලයේ නාවික හෙන්රි කුමාරයාය. පෘතුගාලයේ රජුගේ අනුග්‍රහයෙන් 1486 දී බර්තලමියු දියෙස් අප්‍රිකානු මහද්වීපයේ දකුණු කෙළවරට පැමිණ ආපසු ගියද 1498 දී වාස්කෝදගාමා ඉන්දියාවේ කැලිකට් වරායට පැමිණියේ ය. එහිදී ඔහු කළ ප්‍රකාශය වූයේ...."අපි ක්‍රිස්තු භක්තිකයන් සහ කුළුබඩු සොයා පැමිණියෙමු"...යන්නයි.
ඔහු කළ මෙම ප්‍රකාශය ඔවුන් පෙරදිගට පැමිණියේ කුමකට ද යන්න හේතු කැටිකොට දක්වන්නක් විය.
වැඩි කලක් ගත වූයේ නැත. ඔවුන් ඉන්දියන් සාගරයේ ස්ථාන කීපයක් සියතට ගෙන කොවින් ප්‍රදේශය ප්‍රධාන මධ්‍යස්ථානය කරගෙන බලය ව්‍යාප්ත කිරීමේ යෙදුණි. එහි මුල් ම ප්‍රතිරාජයා ලෙස ප්‍රැන්සිස්කෝද අල්මේදා, 1505 දී පත්කර එවනු ලැබීය. මේ වන විට ශ්‍රී ලංකාව ඉතා හොඳ තත්ත්වයේ කුරුඳු නිපදවන රටක් ලෙස ප්‍රසිද්ධව පැවතුණි. වාණිජමය හා යුදමය වශයෙන් ද ලංකාව තැනක පිහිටීම ද හේතු කොටගෙන මේ දිවයින අවනත කරගන්නා ලෙස පෘතුගාලේ රජු ද ප්‍රැන්සිස්කෝ අල්මේදාට නියෝග කොට තිබුණි.
එහෙත් මේ කාර්යය දිනෙන් දින අතපසු විය. ඒ අතර තුර මුරිසි දිවයින අසල මුස්ලිම් කණ්ඩායමක් පසුපස එළවමින් සිටි ඔහුගේ පුත් ලෝරෙන්සෝද අල්මේදාගේ නැව් කුණාටුවකට අසුව අහම්බෙන් මෙරටට පැමිණියේ ය. ස්ථානය ගාල්ලය. දිනය 1505 නොවැම්බර් මස 15 වැනිදාය. පසුව ඔවුහු කොළඹට ගොඩබටහ.
මුස්ලිම්වරු නොසන්සුන් වූහ. සිංහලයෝ විමතියට පත් වූහ. ඔවුහු ඒ බව වහා රජුට සෙලකර සිටිය හ. එපුවත රාජාවලිය සඳහන් කරන්නේ මෙසේය.
"අපගේ කොළොම්තොටට ඉතා සුදු පැහැය ඇති මනුෂ්‍ය ජාතියක් පැමිණ සිටිති. ඔවුහු යකඩ සැට්ට ඇගලා ගෙන, යකඩ තොප්පි හිසලා ගෙන, විගසක් එන තැනක නොසිට සක්මන් කරන්නෝය. සුදු ගල් සපාකමින් ලේ බොන්නෝය. එක මාළු කූරියාට එක දෙහි ගෙඩියට රන් රිදී දෙකතුන බැගින් දෙන්නෝය. ඔවුන්ගේ තුවක්කු උණ්ඩය ගව් ගණන් ගොසින් වන් කල යුගන්ධර පර්වතය පවා පොඩිවන්නේ ය."
