අනගාරික ධර්මපාල
 


 ශ්‍රී ලංකාව ඉංග්‍රිසි අධිරාජ්‍යයට යටත් ව පැවැති කාලයේ "සිංහලයිනි, නැගිටිව් යනුවෙන් අභිත සිංහ නාද කළ ජන නායකයා අනගාරික

ධර්මපාල තුමා ය.

ඉංග්‍රීසීන් විසින් 1815 දි කන්ද උඩරට යටත් කර ගනු ලැබීමෙන් මෙරට ස්‌වාධීනත්වවේ මළ බෙරය වැයිණි. බලලෝභී අදුරදර්ශී දේශීය නායකයන් අතළොස්‌සකගේ ක්‍රියා නිසා මේ අවාසනාවන්ත තත්වය උදා විය. එහි ප්‍රතිපල යටපත් වෙමින් පැවැති ජාතිකාභිමානය, එකමුතු බව හා ආගමික හැදියාව යළි පණ ගැන්වීමේ උදාර චේතනාවෙන් මෙහෙයැවුණු ජාතිමාමක ගිහි පැවැදි උභය පාක්‌ෂිකයන් ම ඒ සඳහා දැරූ ප්‍රයත්නය අප්‍රමාණ විය.

ඒ වීර නාමාවලියට කැප්පෙටිපොළ දිසාව, වාරියපොළ සුමංගල හිමි, කුඩාපොළ හිමි, පුරන් අප්පු, යානාදී නම් කීපයක්‌ විශේෂයෙන් ඇතුළත් වේ. මෙවන් වීර පුරුෂයෝ රට, දැය, සමය උදෙසා විදේශීකයන්ගේ වෙඩි උණ්‌ඩයට ළය පිදූහ. ඉන් පසු ඇති වූ අන්ධකාර සමයෙහි ජාතික, ආගමික, පුනර්ජීවනය, ඇති කිරිම සඳහා හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි, වාදීභසිංහ, මීගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි, පියදාස සිරිසේන මහතා, අනගාරික ධර්මපාල තුමා වැනි ජාතික වීරවරයෝ කීප දෙනෙක්‌ පුරෝගාමී වූහ.


මෙකල සිංහල බෞද්ධ ජනතාවට විදේශීය පාලකයන්ගෙන් මෙන් ම ඔවුන්ගේ දේශීය අනුගාමිකයින්ගෙන් ද විඳින්නට සිදු වූ හිරිහැර හා ගැහැට අපමණ ය. වර්ෂ 1864 සැප්තැම්බර් 17 වන දා දොන් ඩේවිඩ් හේවාවිතාරණ ළදරුවා උපන්නේ රටේ මෙබදු තත්ත්වයක්‌ පවතිද්දී ය. මේ දරුවා ජාතියේත් ආගමේත් අනාගත විමුක්‌තිදායකයකු වෙති යි එදා සිතූ කෙනෙක්‌ නොවූ හ. කුඩා ඩේවිඩ් හේවාවිතාරණට අධ්‍යාපනය සඳහා පළමුවෙන් දෙමටගොඩ බැප්ටිස්‌ සිංහල පැසැලටත්, එතැනින් කොළඹ ශාන්ත බෙනඩික්‌ විදුහලටත්, අනතුරුව කෝට්‌ටේ ක්‍රිස්‌තියානි විදුහලටත් යෑමට සිදුවිය. මේ විදුහල්වලදී ඉංග්‍රීසී භාෂාව ද එකල අනිවාර්ය විෂයයක්‌ වූ ක්‍රිස්‌තු ධර්මය ද හොඳින් ඉගෙනීමට සිදු වීම මොහුගේ අනාගත ක්‍රියාවලිය සකස්‌ කර ගැනීමට ඉහවල් විය. එතුමාගේ පියාණන්ගේ ද සහාය ඇති ව හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමිපාණන් විසින් අරඹන ලද විද් යෝදය පිරිවෙන, මේ ජාතික වීර පුත්‍රයාගේ දිවි මඟ එළි කළ සරසවි විම විය. ශ්‍රී සුමංගල හිමිපාණන්ගේ සෙවනෙහි සිංහල, පාලි හා බුදුදහම උගත් මේ වීර පුත්‍රයා 1878 දී ගල්කිස්‌සේ ශාන්ත තෝමස්‌ විදුහලට ඇතුළු වී ඉගෙනීමට පැවරුණු කොයි දේත් මැනවින් උගත්තේ, බයිබල් පාඩමෙන් ද හැම ව්ට ම ප්‍රථමයා විය.


මොහු ලත් මේ අධ්‍යාපනය, සමය සමයාන්තර කරුණු සංසන්දනාත්මක ව ඉගෙනීමට රුකුලක්‌ විය. මොහුගේ සහජ දක්‌ෂතාවයක්‌ වූ කථිකත්වය ද එයින් ඔප වැටිණි.

එකල විවිධ කරුණු මුල් කර ගෙන අප රටෙහි වාද විවාද පැන නැගිණි. වර්ෂ 1873 පැවැති පානදුර වාදය යථෝක්‌ත වාද අතර ප්‍රමුඛස්‌ථානයක්‌ ගත්තේ ය. මෙහි ප්‍රතිඵලයක්‌  වශයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ අදහස්‌ ලොව පුරා පතල විය. එහි විස්‌තර එදා ශ්‍රී ලංකාවට පැමිණි ඇමරිකානු ජාතික හෙන්රි ස්‌ටිල් ඔල්කට්‌ තුමා ද ධනවත් සමාජ සේවිකාවක වූ බ්ලැවැස්‌කි මැතිනිය ද විද් යෝදය පිරිවෙනේ දී හමුවීම තරුණ හේවාවිතාරණගේ ජීවිතයට නව ආලෝකයක්‌ ගෙන දීමට සමත් වූ සිදු වීමකි.


මේ කාලයෙහි තවදුරටත් උසස්‌ අධ්‍යාපනයක්‌ ලැබීම පිණිස යා යුතු බෞද්ධ පාසලක්‌ රටෙහි නො වූ හෙයින් එතුමාගේ සිත, කෙමෙන් කෙමෙන් ඕල්කොට්‌ තුමාගේ හා බ්ලැවැස්‌කි මැතිනියගේ සමාජ සේවා කටයුතු සඳහා වැඩි වැඩියෙන් යොමු විය. ඕල්කොට්‌ තුමා විසින් ඇමරිකාවේ දී අරඹන ලද පරමවිඥානාර්ථ සමාගම අප රටට ද ඵලදායක විය. එය, සත්‍යයට වඩා උසස්‌ ආගමක්‌ නැත යන්න පදනම් කොට, සමස්‌ත ලෝක සහෝදරත්වය ගොඩනැගීමේ අදිටනින් අරඹන ලද්දකි.

යථෝක්‌ත සමාගමේ කොළඹ ශාඛාව මගින් බෞද්ධ දරුවන් උදෙසා පාසල් ඇරඹුණේ මෙලෙස ය. මෙහි දී ප්‍රමුඛ ව ක්‍රියා කළ ඩේවිඩ් තරුණයා ඒ මඟින් ජාතික නයකයකු බවට පත්විය. අවශ්‍ය වයස්‌ සීමාව ගැන පවා නො තකා ඕල්කොට්‌ තුමා ඔහුට ඒ සමාගමේ කාරක සභික ධූරයක්‌ද පිරිනැමීය. මෙසේ සමාජ වැඩවල නිරතව සිටිය දී රජයෙන් පිරිනැමුණු ලිපිකාර තනතුර මොහු ප්‍රතික්‌ෂේප කළේ "මම අධිරාජ්‍යයයේ ගැත්තෙක්‌ නොවෙමි" යි කියමිනි.

ඉන් පසු පරම විඥානාර්ථ බෞද්ධ සමාගම මඟින් ඇරඹි බෞද්ධ පාඨශාලා වලත්, සඳරැස නම් පත්‍රයෙ දියණුව පිණිස වේඩිඩ් හේවාවිතාරණගේ මුළු කාලය කැප විය. වර්ෂ 1884 දී මදුරාසියේ පැවති පරම විඥානාර්ථ සමාගමේ සාංවත්සරික උත්සවයට සහභාගී වී පෙරළා පැමිණි මොහු තම මුල් නම ඉවත් කොට ධර්මපාල යන ආර්ය සිංහල නාමය ගත්තේ ය. බ්‍රහ්මචාරී ජීවිතයක්‌ ගත

කිරීමට ඉටාගත් මෙතුමා එතැන් පටන් අනගාරික ධර්මපාල නමින් ප්‍රසිද්ධ වන්නට විය.

 

ඔල්කොට්‌ තුමන් විසින් දිවයින පුරා ඉංග්‍රීසියෙන් පවත්වන ලද කථා සිංහලට පරිවර්තනය කිරීමෙන් අනාගාරික ධර්මපාල තුමා එකල විසූ දක්‌ෂතම කථිකයා බවට පත්විය. ජාතික සිරිත් විරිත්, නම් ගම් ආදියේ අගය පහදමින් මෙතුමා ගැඹුරු හඬින් කළ දේශනා, නිදා සිටි සිංහල ජාතිය අවදි කර පණ ගැන්වීමෙහි සමත් විය. නිවට ගති, උදාසීන ගති, තදින් පිළිකුල් කළ මෙතුමා සුරාවට හා ගව මසට ඇබ්බැහි වූ සිංහල බෞද්ධයන්ට කර්කෂ වාග් ප්‍රහාර එල්ල කළේ ය.

වර්ෂ 1889 දී ඔල්කොට්‌ තුමා සමඟ ජපානයට ධර්ම දූත ගමනක යෙදීමේ භාග්‍යය අනගාරික ධර්මපාල තුමාට හිමි විය. ඒ ගමනේ දී ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය පළමු වරට ජපානයේ ලෙළ දෙවිණි. 1890 දී දඹදිව සිද්ධස්‌ථාන වැඳ පුදා ගැනීමට ගිය මෙතුමා බුද්ධගයා ශුද්ධ භූමිය, මහන්නා කෙනෙකු භාරයේ පවතින සැටිත්, එහි හින්දු දෙවොලක මෙන් වතාවත් පැවැත්වෙන සැටිත් දැක කම්පා විය.

 

කෙසේ හෝ සමස්‌ත ලෝක බෞද්ධ ජනතාව සඳහා බුද්ධායාව බේරා ගැනීමට අදිටන් කළ මෙතුමා "සිංහලයෙනි නැඟිටිව්" "බුද්ධගයාව බේරා ගනිව්" යන සටන් පාඨය මඟින් ජාතිය පණ ගැන්වීය.

යථොක්‌කත පරමාර්ථයෙන් 1891 දී ඉන්දියාවේ දී අරඹන ලද 'මහාබෝධී සමාගම' මඟින් ගෙන ගිය වැඩ පිළිවෙල දැන් මල් පල දරා ඇත. ඒ වැඩ පිළිවෙලට ලොව පුරා සදිටි බෞද්ධ ජනතාවගේ සහාය ලබාගැනීම පිණිසත්, බුද්ධ ධර්ම ප්‍රචාරය පිණිසත් ඉංග්‍රීසියෙන් පළ කරන ලද 'බුඩිස්‌ට්‌' (බෞද්ධයා) නම් සඟරාව පසු කලක 'මහා බෝධි' නිමින් සිංහලයෙන් පළ කරන ලදී. වර්ෂ 1892 දී ඇමරිකාවේ චිකාගෝ නුවර පැවති දෘෂ්ටි සම්මේලනයට සහභාගී වූ සියලු විද්වත් පිරිස මෙතුමා පැවත් වූ ව්‍යක්‌ත දේශනය  ප්‍රසංසාවට ලක්‌ කළහ.

එහි සිට ආපසු එද්දී හොනලුලු දිවයිනට ගොඩ බට මෙතුමාට කෝටිපති දානපතිනියක වූ ගොස්‌ටර් මැතිනිය හැඳින ගන්නට ලැබුණේ ය. ධර්මපාල තුමා විසින් මේ රටේ හා ඉන්දියාවේ අරඹන ලද ජාතික ආගමික සේවා සඳහාත් බුද්ධගයාව බේරා ගැනීමේ සටන සඳහාත් ඕ නොමසුරු ව ධනය පරිත්‍යාග කළා ය. අනගාරික ධර්මපාල තුමා බෞද්ධ මහජන මතය ප්‍රචලිත කරවීමේ අපේක්‌ෂාවෙන් 1906 දී 'සිංහල බෞද්ධයා' පුවත් පත ඇරඹුවේ ය.

මේ අන්දමට 1931 දක්‌වා මෙතුමාගේ මුළු ජීවිත කාලය මිඩංගු කළේ ජාතික ආගමික සේවා සඳහා ය. ඒ වසරේ දී මවු බිමට ආයුබෝවන් කී මෙතුමා ඉන්දියාවට ගොස්‌ තමාගේ පුරෝගාමීත්වයෙන් ඇරුඹි මූලගන්ධකුට ව්හාරයේදී "සිරි දේවමිත්ත ධම්මපාල" නම්න් පැවිදි විය. පැවිදි වීමෙන් දෙ මසකට පසු උපසම්පදාව ලැබූ උන් වහන්සේ 1933 අප්‍රේල් 29 දා "සම්බුදු සසුන පතළ කරනු පිණිස යළි යළිත් උපදිමි" යි පතමින් සිහි නුවණින් යුතුව අවසන් හුස්‌ම හෙළුහ.

විදේශීය නම් වෙනුවට ආර්ය සිංහල නම් භාවිතය මෙතුමාගේ ආදර්ශයෙන් ආරම්භ විය. දේශීය පැරැණි සිරිත් විරිත් ගරු කිරීමට සිංහල ජනතාව පෙළඹවූයේ අනගාරික ධර්මපාල තුමා ය. සිංහල ජාතියටත්, බෞද්ධ ජනතාවටත් අනගාරිත ධර්මපාල තුමාගේ නාමය අමරණීය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017