සද්ධර්මරත්නාවලිය
 
සද්ධර්මය නමැති මැණික් ඔබ්බවා කරන ලද මාලය යන අරුත් සහිත ව සම්පාදනය වූ සද්ධර්මරත්නාවලිය නම් මා හැඟි නිර්මාණය දඹදෙණි සාහිත්‍යය යුගයට අයත් වූවකි. මෙහි කතුවරයා වන්නේ ධර්මසේන හිමියන් ය. එසේ ම මෙම නිර්මාණය සිංහල සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යයට හෙවත් බණකතා සාහිත්‍යයට අයත් වූවකි.

මෙම නිර්මාණය සඳහා උන්වහන්සේ විසින් යොදා ගනු ලැබූ මූලාශ්‍රය වූයේ පාලි ධම්මපදට්ඨ කතා නම් කෘතිය යි. එහි හුදු පරිවර්තනයක් ම නොව එහි අර්ථ පමණක් ගෙන තමාට ම ආවේණික වූ භාෂා ශෛලියක් යොදා ගැනීමට කතුවරයා එහි දී සමත් වී ඇත. ඒ බව

"පාලි ක්‍රමය හැර අර්ථ පමණක් ගෙන අප කළා වූ ප්‍රබන්ධයෙහි ක්‍රම විලංඝනාදී වූ අඩු වැඩි ඇතත් එය නොසලකා...." යන පාඨයෙන් මැනවින් ගම්‍යමාන වේ.

කතුවරයා නිර්මාණයේ අලංකාරය වැඩි කිරීම සඳහා ම ශ්‍රැතිගෝචර රටාවෙන් හෙවත් අසන්නාට ප්‍රිය උපදවන භාෂා භාවිතයක් යොදා ගෙන ඇත. විටෙක කෘතියේ භාෂාව සරල ය. එසේ ම ජනවහරින් පෝෂිත ය. තවද ගැමි උපමා ප්‍රස්තාව පිරුළු වලින් අනූන ය. මේ නිසා ම මෙම නිර්මාණය සාහිත්‍යමය අතින් සුවිශේෂි නිර්මාණයක් ලෙස සිංහල සාහිත්‍යයට එකතු වී ඇත. 

සද්ධර්මරත්නාවලිය සිංහල සාහිත්‍යයෙහි ඇති මහැඟි නිර්මාණයක් නිසා වීම නිසා ම හෙළ සාහිත්‍ය විචාරකයන්ගේ පැසසුමට ලක් ව ඇති බව පහත ප්‍රකාශන ඇසුරෙන් නිගමනය කළ හැකි ය.

"ධර්මසේන හිමියන්ගේ කවීත්වය දෙපසෙකින් පෝෂිත වූවකි. එක් අතෙකින් තමන් විසූ පිටිසර ගම්බද වටපිටාවෙන් හා අනෙක් අතින් බුදුසමය ඉගෙනීමෙන් ද එය පිළිපැදීමෙන් ද ලත් ධර්මාවබෝධයෙන් ද වෙයි"   
මහාචාර්ය ආනන්ද කුලසූරිය - සිංහල සාහිත්‍යය 2

"බුත්සරණ, පූජාවලිය යන ග්‍රන්ථයන් රචනයට වහල් වුණු ධර්ම දේශකයන්ගේ භාෂාව කතා කීමට උචිත බසක් ලෙස සකස් කරන ලද්දේ සද්ධර්මරත්නාවලියේ කර්තෘ ධර්මසේන ස්ථවිරයන් විසිනි. ඔවුන් තරම් කතා කීමෙහි සූරයෙක් පැරණි සිංහල ග්‍රන්ථකාරයන්ගේ පරපුරෙහි නොවීය"
මාර්ටින් ව්ක්‍රමසිංහ - සිංහල සාහිත්‍යයේ නැගීම
......................................................................................

                            
                                   සද්ධර්මරත්නාවලියේ ඇති සුවිශේෂතා

* කතාව ආරම්භයේ දී ම එහි මූලික හරය දැක්වීම.

* ඇසීමට ප්‍රිය උපදවන භාෂා භාවිතයක් හෙවත් ශ්‍රැතිගෝචර භාෂා ශෛලයක් භාවිත කොට තිබීම.

* දඹදිව කතා පුවතක් වුව ද මෙරටට ගැළපෙන අයුරින් ඉදිරිපත් කොට තිබීම.

* උපමා මිශ්‍ර භාෂා මිශ්‍රණයක් යොදා ගෙන තිබීම.

* සංස්කෘත, පාලි මිශ්‍ර වචන භාවිත කොට තිබීම.

* අවස්ථාචෝචිත දිගු වැකි හා කෙටි වැකි භාවිත කොට තිබීම.

* සරල භාෂා භාවිතයක් යොදා ගෙන තිබීම.

* ගැමි වහරෙන් පොෂණය වූ භාෂා භාවිතයක් යොදා ගෙන තිබීම.

* ප්‍රස්ථාව පිරුළු භාවිත කොට තිබීම.

* කතාව කීමත් සමග ම ධර්මාවවාද රැසක් ලබාදීම.

* අවස්ථාවට උචිත වු මනා සිද්ධි ගැළපීම.
(c) Shilpa Sayura Foundation 2006-2017